ඉන්දීය ආර්ථික ඉලක්ක බිඳ වැටීමේ ප්‍රවණතාවක්

Image caption ඉන්දියානු රුපියලේ අගය දිගටම පහත වැටෙමිනුයි පවතින්නේ.

ඉන්දියාව මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත හැකි සියලු පියවර ගන්නා බව අගමැති මන් මෝහන් සිං කියා සිටියි.

ලෝක් සභාව අමතමින් එම ප්‍රකාශය කළ ඉන්දීය අගමැතිවරයා,රුපියලේ අගය පිරිහීම කනගාටුවට කරුණක් බවයි සඳහන් කළේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ඉන්දීය රුපියලේ අගය පසුගිය මැයි මාසයේ පටන් 20% කට අධික මට්ටමකින් පහත වැටී ඇත.

අද සිකුරාදා,මින් ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය අප්‍රියෙල් සහ ජූනි මාසය අතර කාලයෙහි ඉන්දීය ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4% කින් පමණයි.

පසුගිය දශකයේ එම ආර්ථිකයේ වර්ධන වේගය 7% ක් තරම් ඉහළ මට්ටමකයි පැවතුනේ.

එහෙත් පසුගිය වසරවල එහි නිරන්තර අවපාතයක් ප්‍රදර්ශනය කෙරුණි.

අලුතින් ප්‍රකාශිත ආර්ථික සංඛ්‍යා දත්ත බලාපොරොත්තු තැබූ තත්වයටත් වඩා පහළ මට්ටමක පවතින බවයි, දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.