මුෂාරෆ්ට එරෙහිව තවත් මිනීමැරුම් නඩුවක්

Image caption පාකිස්තානයෙන් පළාගොස් සිටි ජනරාල් මුෂාරෆ් මේ අවුරුද්ද මුලදීයි යළි සියරට ලඟා වුනේ.

පාකිස්තාන් පොලිසිය හිටපු ජනාධිපති ජනරාල් පර්වේෂ් මුෂාරෆ්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කොට ඇති බව නිවේදනය කොට ඇත.

2007 වසරෙහි මුස්ලිම් පල්ලියක් වට කරන ලද අවස්ථාවක සටන්කාමී පූජකවරයකු මර දමන ලද බවටයි,මුෂාරෆ්ට එරෙහිව චෝදනා නගා තිබෙන්නේ.

ඉස්ලාමාබාද් අගනුවර රතු පල්ලියට යුද හමුදා කඩා වැදුන අවස්ථාවේ සීයකට අධික ජනතාව මරා දැමුණ අතර,අබ්දුල් රෂීඩ් ඝාෂි නම් පූජකවරයාත් ඉන් එක් තැනැත්තෙක්.

1999 සිට 2008 තෙක් පාකිස්තානය පාලනය කළ ජනරාල් පර්වේෂ් මුෂාරෆ්ට එරෙහිව නඩු කීපයක් ම පවරා ඇති අතර,මෙම නඩුව ඔහුට එදිරිව ඉදිරිපත්ව ඇති බරපතළම චෝදනා සහිත නඩුකරය ලෙසයි විග්‍රහ කෙරෙන්නේ.

පාකිස්තානයෙන් පළා ගොස් සිටි ජනරාල් මුෂාරෆ් මේ අවුරුද්ද මුලදී යළි සියරට ලඟා වූ අතර ඉන් අනතුරුවයි ඔහුට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ගයන් ආරම්භ කෙරුණේ.