‘සිරියාවට එරෙහිව පියවරක් නොගැනීම ජාත්‍යන්තර මූලධර්මවලට හාණියක්’ බරක් ඔබාමා

  • 2013 සැප්තැම්බර් 4
Image caption සිරියාවේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත්, එමගින් පිළිගත් ජාත්‍යන්තර මූලධර්මවල සෝදාපාළුවක් සිදු වන බව

සිරියානු පාලකයන් විසින් රසායනික අවි ආයුධ පාවිච්චි කරනු ලැබීමට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගයන් මත, එක්සත් ජනපදය ,එහි කොන්ග්‍රස් මණ්ඩලය සහ ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි ඇති විශ්වාසය රඳා පවතින බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කරයි.

ස්වීඩනයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ජනාධිපති ඔබාමා, තමා විසින් තහනම් සීමාවක් ලකුණු කරනු ලැබ නැතත්,රසායනික අවි ආයුධ පාවිච්චිය තහනම් කරනු ලැබීම මගින් ලෝකය එවැනි සීමාවක් පනවා ඇති බවයි ,කියා සිටියේ.

තවදුරටත් අදහස් දැක් වූ බරක් ඔබාමා,සිරියාවේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත්, එමගින් පිළිගත් ජාත්‍යන්තර මූලධර්මවල සෝදාපාළුවක් සිදු වන බවට තර්ක කොට ඇත.

සිරියාවට එරෙහි ප්‍රහාරයකට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාසය පළකළ ජනාධිපති ඔබාමා,රටේ ජාතික අභිලාෂයන්ට අනුකූලව නිසි පියවර ගැනීමේ අයිතිය සන්නද්ධ සේනාවන්හි අණ දෙන නිලධාරියා හැටියට තමාට පැවරෙන කාර්යයක් වන බවයි කියා සිටියේ.

ඉදිරි පියවර සම්බන්ධයෙන් රුසියාවත් සමඟ දිගටම සාකච්ඡා කරන බව කියා සිටි ජනාධිපති ඔබාමා,සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාවේ ස්ථාවරය වෙනස් කිරීමට තවම කාලය පවතින බවයි පෙන්වා දුන්නේ.

අසල්වැසි ප්‍රතිචාර

සිරියානු අනාථයන්ගේ අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සිරියාවේ අසල්වැසි රටවල් හතරක විදේශ ඇමතිවරු ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ රැස්වෙමින් සිටින බව තුර්කි ආණ්ඩුව මේ අතර නිවේදනය කරයි.

අසල්වැසි රටවලට දැරිය නොහැකි බරක් වී ඇති සිරියානු අනාථයන් වෙනුවෙන් උදව් වෙන මෙන් පොහොසත් රටවල් යොමු කර ගැනීමට ලෙබනන්,ජෝර්දාන්,තුර්කි සහ ඉරාකයේ විදේශ ඇමතිවරුන්ගේ උත්සාහයයි.

විසි ලක්ෂයක් ජනතාව සිරියාවෙන් පිට වී ඇති අතර,එය කලාපයේ අනතුරුදායක අස්ථාවර තත්වයකට හේතු විය හැකි බවට අනාථයන් පිලිබඳ එකසත් ජාතීන්ගේ ආයතනය අනතුරු ඇඟවීමක් කොට ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර