ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු පෙරළියක්

Image caption ලේබර් පක්ෂයේ නායක කෙවින් රඩ්,නව අගමැති ටෝනි ඇබට් අමතමින් ඔහුට ශුභ පැතූ බව ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් විපක්ෂයේ ලිබරල් ජාතික සන්ධානය අති විශිෂ්ට ජය ග්‍රහණයක් වාර්තා කළ අතර, සන්ධානයේ නායක ටෝනි ඇබට් සිය ආධාරකරුවන් අමතමින් කියා සිටියේ, විශ්වාසය සහ කාර්යක්‍ෂමතාවය මත පදනම් වූ ආණ්ඩුවක් පිහිටුවන බවයි.

තවදුරටත් අදහස් දැක් වූ ඕස්ට්‍රේලියාවේ නව නායකයා, අතිරික්තයක් සහිත අයවැයක් රටට ඉදිරිපත් කිරීමට ඉදිරි වසර ඇතුළත කටයුතු කරන අතර, ආසියානු රටවල සිට බෝට්ටු වලින් එන අනවසර සංක්‍රමණිකයන් නතර කිරීමට ද කටයුතු කරන බවයි කියා සිටියේ.

ජයග්‍රාහී ටෝනි ඇබට් ප්‍රකාශ කළ ආකාරයට ,වසර සීයක මැතිවරණ ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂය ලද අඩුම ඡන්ද ප්‍රමාණයයි මෙවර එම පක්ෂය ලබා ඇත්තේ.

මේ අතර මැතිවරණ පරාජය පිළිගත් ලේබර් පක්ෂයේ නායක කෙවින් රඩ්,නව අගමැති ටෝනි ඇබට් අමතමින් ඔහුට ශුභ පැතූ බව ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වාර්තා කරයි.

සිය පාක්ෂිකයන් අමතමින් කතා කළ පදවියෙන් සමු ගන්නා අගමැති කෙවින් රඩ් කියා ඇත්තේ මැතිවරණ පරාජයේ වගකීම භාර ගනිමින් ලේබර් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 150න් අඩු තරමින් 88 ක් වත් ලිබරල් ජාතික සන්ධානය දිනා ගනු ඇතැයි මැතිවරණ නිලධාරීන් අනාවැකි පළ කර තිබුණි.