ලෝක ජනගහනයෙන් තිහෙන් එකක් සංක්‍රමණිකයින්

  • 2013 සැප්තැම්බර් 12

එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වලින් කියවෙන්නේ ලෝක ජනගහනයෙන් පෙර නොවූ විරු ජන සංඛ්‍යාවක් තම මාතෘ භූමියෙන් පිටත පදිංචිව සිටින බවයි.

මේ අනුව ලෝක ජනගහනයෙන් තිහෙන් එකක් සංක්‍රමණිකයින් වන අතර, මෙම සියවස ආරම්භයේ සිට මෙම සංඛ්‍යාව තුනෙන් එකකින් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.

සංක්‍රමණය වන්නන් අතර විශාලතම කණ්ඩායම දකුණු ආසියානු සම්භවයක් ඇති රැකියා කළ හැකි වයසේ පුරුෂයන් බවත් එම වාර්තාව පවසයි.

සංක්‍රමණිකයන් හාර කෝටි හැට ලක්ෂයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් ඇති අතර විදේශිකයන් අතරේ වඩාත් ජනප්‍රිය රට ද ඇමෙරිකාවයි.

සියයට හැටක් බටහිර රටවල

ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගෙන් සියයට හැටක් දිවි ගෙවන්නේ දියුණු බටහිර රටවල බව ද එම වාර්තාවේ සඳහන් කොට ඇත.

රට හැර යන්නන් අතර දෙවැනි ජනප්‍රිය දේශය වී ඇත්තේ රුසියානු සමුහාණ්ඩුව වන අතර, එක් කෝටි එක් ලක්ෂයක විදේශිකයන් පිරිසක් රුසියාවට පැමිණ සිටින බව එක්සත් ජාතීන් ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.

යුද්ධ බොහෝ ජනයා රට හැර යාමට හේතුවක් ලෙස පෙනී ගියත්, දේශපාලන රැකවරණ පතා එන යුද අනාථයින් මුළු සංඛ්‍යාවෙන් සියයට හතක් වැනි සුළු පිරිසක් බවයි,එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙන්නේ.