දිල්ලි දූෂණ නඩුවේ විත්තියේ නීතිඥයාට වෘත්තීය අභියෝගයක්

දිල්ලි නගරයේදී ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ නඩුවේ විත්තිකරුවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියකුගේ වෘත්තීය බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳ ව ඉන්දීය නීතිඥ සංගමය සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

ඒ.පී .සිං දිල්ලි දූෂණ නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි එක් නීතිවේදියෙක්.

පසුගිය වසරේ දිනක දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබුණ බස් රියක් තුළ දී සමූහ දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව ඉන් දවස් කීපයකට පසු මරණයට පත් වූ අතර, එම අපරාධය සම්බන්ධයෙන් චූදිතයන් හතර දෙනකු පසු ගිය සතියේ මරණීය දණ්ඩනයට යටත් කෙරුණි.එම විත්තිකරුවන්ගෙන් දෙදෙනකු වෙනුවෙන් ඒ.පී .සිං නීතිවේදියායි පෙනී සිටියේ.

නීතිඥයා ගේ සේවා බලපත්‍රය අවලංගු කිරීමක් ගැන සලකා බැලෙන්නේ, නඩු විභාගයේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් අනුවයි.

දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව විවාහයෙන් පරිබාහිර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවත්,ඇය රාත්‍රි කාලයේ තරුණයකු සමඟ ගමන් ගනිමින් සිටි බවත්, වෘත්තීය අභියෝගයකට මුහුණ දී සිටින නීතිඥ ඒ.පී.සිං නඩු විභාගයේ දී කියා ඇත.

“ දූෂණයට ලක් වූ ශිෂ්‍යාව තමාගේ දියණියක් නම්, තමා ඇය පණ පිටින් පුළුස්සා මරා දමන අතර, සෙසු දෙමව්පියන් ද එවැනි ම දඬුවමක් එවැනි දරුවන්ට දිය යුතු බව ”යි නීතිවේදියා අධිකරණය ඉදිරියේ වැඩි දුරටත් කියා තිබුණේ.

එම ප්‍රකාශ මුල් කර ගෙන තමා පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ නීතිඥ ඒ.පී.සිං,ඉහත කී අදහස් තමාගේ පෞද්ගලික මතය බවත්, සම්ප්‍රදායානුකූල ඉන්දීය ප්‍රජාව තම මතය සමඟ එකඟ වනු ඇතැයි විශ්වාස කරන බවත් කියා සිටියේය.