වල් අලි ප්‍රහාරයකින් සංචාරකයකු මරුට

කේරල සහ තමිල්නාඩු ප්‍රාන්ත දේශ සීමාව අතර පිහිටි මහ වනයෙහි වන සතුන් නැරඹීමේ නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය සංචාරකයකු වල් අලි ප්‍රහාරයකින් මරණයට පත් වී ඇත.

මහ වන මැද එල්ල කෙරුණ වල් අලි ප්‍රහාරයට ගොදුරු වූ සංචාරකයාගේ අනන්‍යතාවය තවමත් ප්‍රකාශයට පත් කොට නැති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ මග පෙන්වන්නන් දෙදෙනකු ද සමඟ බ්‍රිතාන්‍ය සංචාරකයා වන ගැබ තුළ තහනම් කලාපයකට අනවසරයෙන් ඇතුල් වී ඇති බවත් ඉන්දීය වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ සංචාරකයා මෝටර් රථයෙන් බැස තනි අලියකු ඡායාරූප ගත කරමින් සිටිය දී.

කැමරාවේ ආලෝක දහරා මගින් කිපුණ අලියා සංචාරකයාට දළ මගින් පහර දුන් බවයි,සිද්ධිය සම්බන්ධයෙන් ලැබෙන වාර්තා මගින් වැඩි දුරටත් ප්‍රකාශ කෙරෙන්නේ.

බ්‍රිතාන්‍ය සංචාරකයා සමඟ සිටි මග පෙන්වන්නන් දෙදෙනා පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.