පකිස්තානය තාලිබාන් නායකයකු මුදා හරියි

ඇෆ්ඝනිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ ඉහළම මට්ටමේ නායකයකු වන, මුල්ලා අබ්දුල් ඝානි බරදාර් නිදහස් කළ බව පාකිස්තාන් විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ,ඇෆ්ඝන් සංහිඳියා ක්‍රියාදාමය පෙරට ගෙන යාමක් හැටියට බවත් ප්‍රකාශ කොට ඇත.

පාකිස්තාන් ආණ්ඩුව ගත් පියවර ඇෆ්ඝනිස්තානයේ ප්‍රසාදයට ලක් වූ බවයි කාබුල් අගනුවරින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

සාකච්ඡා ක්‍රියාමාර්ගයකට කැමති තාලිබාන් ප්‍රධානීන් කීප දෙනාට මුල්ලා අබ්දුල් ඝානි බරදාර් ද ඇතුළත් වෙන බව ඇෆ්ඝන් බලධාරීන්ගේ තක්සේරුව වී ඇත.

ඇෆ්ඝන් බූමියේ රඳවා සිටි විදේශීය සෙබළුන් තුන් දෙනකුට වෙඩි තබා ඇති බව නේටෝ යුද හවුල මේ අතර නිවේදනය කරයි.

පක්තියා ප්‍රාන්තයේ දීයි, විදේශ සෙබළුන්ට වෙඩි තබා මරා දමා තිබෙන්නේ.

ඇෆ්ඝන් ආරක්ෂක හමුදාවේ නිල ඇඳුමින් සැරසී පැමිණි කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කළ බව නේටෝ ප්‍රකාශනයක දැක්වෙයි.