නයිරෝබි සාප්පු සංකීර්ණයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ තැතක්

සාප්පු සංකීර්ණය වටලා සිටින හමුදාව
Image caption ජනාධිපති උහුරු කෙන්යාටාගේ ඥාති පුත්‍රයෙකු සහ ඔහුගේ පෙම්වතියද මියගිය අතර සිටී

නයිරෝබි නුවර සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රාණ ඇපකරුවන් රඳවාගන සිටින සාප්පු සංකීර්ණයෙන් ඝන දුමාරයක් නැගෙමින් පවතින බවත්, වෙඩි හඬ ඇසෙන බවත් වාර්තාකරුවෝ පවසති.

පසුගිය සෙනසුරාදා කෙන්යාවේ නයිරෝබි අගනුවර සාප්පු සංකීර්ණයකට මෙම සටන් කරුවන් කඩාවැදුණු අවස්ථාවේ සිට හැට අට දෙනෙක් මියගොස් ඇති අතර එකසිය හැත්තෑ දෙනෙක් තුවාල ලබා ඇති බව කෙන්යානු බලධාරීහු ප්‍රකාශ කරති.

ජනාධිපති උහුරු කෙන්යාටාගේ ඥාති පුත්‍රයෙකු සහ ඔහුගේ පෙම්වතියද මියගිය අතර සිටී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය

සෝමාලි අල් ශබාබ් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් බව විශ්වාස කෙරෙන සටන්කරුවන් දහයත් පහලවත් අතර කණ්ඩායමක් වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණයට කඩා වැදී එහි සංදර්ශනයකට සහභාගි වෙමින් සිටි දරුවන් ඇතුළු පිරිසට වෙඩි තබමින්, බෝම්බ ප්‍රහාර එල්ල කළහ.

මේ වන විට කෙන්යානු ආරක්ෂක හමුදා සාප්පු සංකීර්ණය වටලා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බවයි වාර්තා කරුවන් ප්‍රකාශ කරන්නේ.

ප්‍රාණ ඇපකරුවන් ගණනාවක් වෙඩි හුවමාරුවට මැදිවී හිරවී සිටින බවද ආරක්ෂක හමුදාව පවසයි.

මේ අතර, ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස අවස්ථාව සලසා දීම් වස් කෙන්යාවේ උප ජනාධිපති විලියම් රූටෝට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණය සතියකට කල් දැමීමට විනිසකරුවෝ තීරණය කළහ.

2007 ජනපතිවරණයෙන් අනතුරුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අවස්ථාවේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ බවට උප ජනාධිපතිවරයා චෝදනා ලබා සිටී.