ඡන්දයෙන් පසු යාපනයේ ප්‍රහාර රැල්ලක්

  • 2013 සැප්තැම්බර් 25

යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ නිවසකට අත් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට ඇතැයි කොකුවිල් පොලිසිය පවසයි.

යුද්ධය නිම වීමෙන් පසුව, යාපනයේ එල්ල කෙරුණ එම පළමු අත් බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වූ තැනැත්තා දිවි බේරා ගැනීමට සමත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයේ දී කිසිවකුට තුවාල සිදු ව නැති නමුත්,එය එල්ල කෙරුණ නිවසට අලාභ හානි සිදුව ඇතැයි පවසන කොකුවිල් පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කියා සිටියි.

මේ අතර මුලතිව් පොලිසිය පවසන්නේ එහි අලුතින් පදිංචි කළ ජනතාවට අයත් නිවාස තුනකට ගිනි තබා ඇති බවයි.

කොඩිකාමම් පොලිස් වසමේ දෙමළ ජාතික සන්ධානයේ ආධාර කරුවකුගේ යතුරු පඩියකට ගිනි තබා ඇති බවක් ද පොලිසිය පවසයි.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ යතුරුපැදියකට ද හානි සිදු කර ඇත.

භීෂණ සැලැස්මක්

‘අරාලි’ප්‍රදේශයේ සහ ඩෙල්ෆ් දූපතේ මහ මඟ ගමන් ගනිමින් සිටි පුද්ගලයන් පහළොස් දෙනකුට පමණ පහර දී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.

එම පහර දීම් පිළිබඳව ප්‍රකාශයක් කරන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,පළාත් සභා මැතිවරණයෙන් පසු ප්‍රදේශයේ භීෂණකාරී තත්වයක් අවුළුවා ලීමට යම්කිසි කණ්ඩායමක් ක්‍රියා කරමින් සිටින බවයි කියා සිටියේ.

යාපනයේ සාමකාමී වාතාවරණයක් පැවතිය යුතු මොහොතක ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ඉඩ නො තබන මෙන් මන්ත්‍රීවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් ද කරයි.