සිරියාවේ පිටුවහල් ආණ්ඩුව පිළිගන්නේ නෑ - කැරලිකරුවෝ

  • 2013 සැප්තැම්බර් 25
සිරියානු කැරලිකරුවන්ගේ ප්‍රකාශකයා
Image caption 'ශාරියා නීතිය අප සියලු දෙනාගේ එකම නීත්‍යානුකූල පදනම විය යුත්තේය'

අතීන්ගේ නිරීක්ෂකයෝ පිටුවහළේ සිට ක්‍රියාත්මක වන සිරියාවේ අන්තර්වාර ආණ්ඩුව හෙවත් සිරියානු ජාතික සන්ධානය පිළිනොගන්නා බව සිරියාවේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් එකොළහක් පවසති.

සිරියානු භූමියේ සිට සටන් වදින කැරලිකරුවන් සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන කිසිදු සංවිධානයක් තමන් පිලි නොගන්නා බවයි, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන කැරලිකාර කණ්ඩායම් පවසන්නේ.

මධ්‍යස්ථ මතධාරී සන්නද්ධ කණ්ඩායම් මෙන්ම අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ සංවිධානද ඒ අතර තිබේ.

රසායනික ආයුධ

සියලු කණ්ඩායම් නියෝජනය කරමින් තව්හිඩ් බ්‍රිගේඩයේ (Tawhid Brigade) ප්‍රකාශකයෙක් ඒ බව ප්‍රකාශයට පත් කොට තිබුනේ අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරන ලද වීඩියෝවක් මාර්ගයෙන්.

Image caption එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ යලි සිරියාවට පැමිණ සිටිති

"පැහැදිලි ඉස්ලාමීය මතවාදයක් යටතේ එකමුතු වන මෙන් අපි සියලුම සිවිල් සහ සන්නද්ධ සංවිධානවලින් ඉල්ලා සිටිමු. ශාරියා නීතිය අප සියලු දෙනාගේ එකම නීත්‍යානුකූල පදනම විය යුත්තේය," යනුවෙන් ප්‍රකාශකයා එහි සඳහන් කරයි.

මේ අතර, සිරියානු ගැටුමේදී රසායනික ආයුධ භාවිතා කොට තිබෙන්නේද යන්න පිලිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම පිණිස එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ යලි සිරියාවට පැමිණ සිටිති.

අගෝස්තු 21 වැනිදා දමස්කස් අගනුවර අසල ප්‍රදේශයක සිය ගනනක පිරිසක් මරා දමමින් එල්ල කළ ප්‍රහාරයට සරීන් රසායනික වායුව යොදා ගැනුණු බව නිරීක්ෂකයන් දැනටමත් තීන්දු කොට තිබේ.

ගැටුම්වලදී රසායනික අවි යොදා ගන්නා බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කර ගනිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර