බංග්ලාදේශයත් න්‍යෂ්ටික යුගයට

තුන් වෙනි ලෝකයේ බොහෝ රටවල් න්‍යෂ්ඨික බලශක්තිය වෙත යොමු වෙමින් සිටී
Image caption තුන් වෙනි ලෝකයේ බොහෝ රටවල් න්‍යෂ්ඨික බලශක්තිය වෙත යොමු වෙමින් සිටී

බංග්ලාදේශය, සිය ආර්ථික සංවර්ධනයට බාධාවක් වී පවතින බලශක්ති හිඟය මග හැර ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් සිය පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදි කිරීම ආරම්භ කර ඇත.

වයඹ බංග්ලාදේශයේ රෝපූර් හි ඉදිකෙරෙන නව බලාගාරයේ ඉදි කිරීම් සහ මෙහෙයුම් භාරව සිටින්නේ ‘රොසතොම්’ ( Rossatom)රුසියානු න්‍යෂ්ටික සමාගමයි.

‘රෝපූර්’ බලාගාරයට අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන සැපයුම සහ රුසියාවේ න්‍යෂ්ටික කසල පිරිපහදුවත් එම සමාගමටයි පැවරෙන්නේ.

නව න්‍යෂ්ටික බලාගාරය සඳහා ඩොලර් කෝටි දෙසීයක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

වර්ෂ 2022 දී විවෘත කිරීමට සැලසුම් කර ඇති එම බලාගාරයෙන් රටේ විදුලි බල සැපයුමෙන් 10%ක් නිපදවීම බංග්ලාදේශයේ බලාපොරොත්තුවයි.

‘රෝපූර්’ නව න්‍යෂ්ටික බලාගාරයට මුල්ගල් තබමින් අදහස් දැක් වූ,බංග්ලාදේශ් අගමැතිනි ෂේක් හසීනා, එම ව්‍යාපෘතියේ ආරක්ෂාව සහතික කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින්,ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ සියලු උපදෙස් අනුව තම රට ක්‍රියා කර ඇති බවයි කියා සිටියේ.

න්‍යෂ්ටික පාලන රෙගුලාසි අනුව තමන්ට අවශ්‍ය අනුමැතිය ලැබී ඇතැයි සඳහන් කළ අගමැතිවරිය, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන නියාමන මණ්ඩලයක් පිහිටුවා ඇති බවත් ප්‍රකාශ කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර