ලාහෝර් ප්‍රහාරයේ මහ මොළකරු යළි රැඳවුම් භාරයේ

Image caption ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවෙක්.

2009 පකිස්තාන් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණ ප්‍රහාරයේ මහ මොළකරු හැටියට චෝදනා ලැබ සිටි ෂුබේර් නොහොත් මුහම්මද්, ලාහෝර් මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මුදා හරිනු ලැබුනත් ඉහල අධිකරණයක් නියෝගයක් අනුව ඔහු තවදුරටත් රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

විනිශ්චය මණ්ඩලය චූදිත ෂුබේර් මුදා හරින මෙන් නියෝග කර තිබුණේ, ඔහුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්.

පන්ජාබ් පොලිස් ප්‍රධානී කාන් බෙග්, මහාධිකරණයට කරුණු දක්වමින්, චූදිත ෂුබේර් නොහොත් මුහම්මද්,සමාජ සාමයට අන්තරායකාරී පුද්ගලයකු වන හෙයින් ඔහු මුදා හරිනු ලැබීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කළත්, ප්‍රධාන මහාධිකරණ විනිසුරු නසීර් සයිඩ්ගේ ප්‍රධානත්වයෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණු ප්‍රහාරයට ෂුබේර් හවුල් වී ඇති බව සනාථ කිරීම සඳහා ශක්තිමත් සාක්ෂි පදනමක් නොමැති බවයි.

එහෙත් එම මහාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ නීතිවේදීන් උසස් අධිකරණයට අභියාචනය කළ අවස්ථාවේ, චූදිත ෂුබේර් තවත් මාසයක් රඳවා තබන මෙන් නියෝග කරන ලද බවයි වාර්තා වන්නේ.

එම නව තීන්දුව අනුව ෂුබේර් නොහොත් මුහම්මද් ඔක්තෝබර් දහවෙනිදා යළි උසාවියට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.