අග්නිදිග සරසවියේ සිසු ගැටුම්

Image caption නිදහස් අධ්‍යාපනය සහතික කරන මෙන් ඉල්ලමින් හඬ නගන සරසවි සිසුන්.

ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවන සහ තුන්වැනි වසරවල සිසුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලද සිසුන් විසිඑක් දෙනකු සමන්තුරෙයි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.

තුවාල ලැබ සමන්තුරෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශිෂ්‍යයෙක් බීබීසී සංදේශයට අදහස් දක්වමින්,තමන් ආපන ශාලාවේ විවේකය ගෙවද්දී තාප්පයෙන් පැන පැමිණි සීයක පමණ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළ බවයි කියා සිටියේ.

පොලු මුගුරු බයිසිකල් චේන් සහ යකඩ පුටු ආදියෙන් තමන්ට පහර දුන් අතර තමන් ද පෙරලා පහර එල්ල කළ බවයි, එම ශිෂ්‍යයා පවසන්නේ.

ප්‍රහාරයට ලක් වූ ශිෂ්‍යයන්ට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවත් ප්‍රහාරයට වගකිව යුතු සිසුන් හතළිස් එක දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය දින නියමයක් නැතිව වසා දැමීමට ලේඛකාධිකාරීවරයා පියවර ගෙන ඇත.