යාදව්ට අවුරුදු පහක සිර දඬුවම්

Image caption ලාලූ ප්‍රසාද් යාදව්, ඉන්දියානු නව නීතිය අනුව පාර්ලිමේන්තු අසුන අහිමි කෙරෙන පළමු දේශපාලකයන්ගෙන් එක් තැනැත්තෙක්.

ඉන්දියාවේ විශේෂ උසාවියක් එරට මුල් පෙළේ දේශපාලඥයකුව සිටි ලාලූ ප්‍රසාද් යාදව්ට අවුරුදු පහක සිර දඬුවමක් සහ ඩොලර් හතළිස් දහසක දඩයක් නියම කොට ඇත.

යාදව්, 1990 දශකයෙහි බිහාර් ප්‍රාන්තයේ මහ ඇමති පදවියේ කටයුතු කරමින් සිටිය දී ආණ්ඩුවේ මුදල් වංචා කරන ලද බවටයි, ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ.

සත්වාහාර සඳහා යයි පවසමින් ආණ්ඩුවේ භාන්ඩාගාරයෙන් ඩොලර් කෝටි පහළොවක තරම් මුදලක් වංචා කර ඇති බවට හිටපු මහ ඇමතිවරයාට චෝදනා ඉදිරිපත් ව තිබුණ අතර ඔහු කියා සිටියේ තමා එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.

එහෙත් එම මූල්‍ය වංචාවට හවුල් වූ බවට යාදව් සමඟ චෝදනා ලැබ සිටි තවත් දේශපාලනඥයන් සහ නිලධාරීන් කීපදෙනකු ද එකී චෝදනාවලට වරදකරුවන් වන බවයි විශේෂ අධිකරණයේ තීන්දුව වුනේ.

පාර්ලිමේන්තු අසුන

ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරයකු ද වන ලාලූ ප්‍රසාද් යාදව්ට ඉහත කී නඩු තීන්දුවත් සමඟ ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වෙන අතර, මෑතදී ප්‍රකාශයට පත්කෙරුන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව අවුරුදු පහක කාලයක් ආණ්ඩුවේ කිසිදු තනතුරක් දැරීමට ද ඔහු නුසුදුසු වෙයි.

මන්ත්‍රීවරයකු සිර දඬුවමකට යටත් කිරීමත් සමඟ ස්වයංක්‍රීයවම ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබුන තීන්දුව වෙනස් කිරීමට ඉන්දීය ආණ්ඩුව පසුගිය දා උත්සාහ කළත් මහජන විරෝධය හමුවේ එම උත්සාහය හකුළා ගැනීමට ආණ්ඩුවට සිදු විය.