ඉතාලියට කඳුළු දිනයක්

Image caption උතුරු අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයන් රැගෙන දකුණු ඉතාලිය බලා යාත්‍රා කළ ධීවර බෝට්ටුවක්.

අද සිකුරාදා ඉතාලියට ‘කඳුළු දිනයක්’ යයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.

උන්වහන්සේ එම ප්‍රකාශය කරන්නේ,ඉතාලියේ ‘ලම්පෙදුසා’(Lampedusa) දූපත අසල මුහුදේ සිදු වූ බෝට්ටු අනතුරින් මරණයට පත් ජනතාව වෙනුවෙන් සංවේගය පළකරමින්.

මධ්‍යම ඉතාලියේ, අසිසි (Assisi) නගරයේ සංචාරයක නිරත වෙමින් සිටියදී අදහස් දැක් වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, කුසගින්නේ මියැදෙන දරුවන් ද ඇතුළුව උදව් ලැබිය යුතු ජනතාව ලෝකය විසින් නොතකා හරිනු ලැබ ඇති බවයි සඳහන් කළේ.

සංක්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුව මුහුදුබත් වීමෙන් ජීවිත රැසක් විනාශ වී ඇති අතර, මේ වනවිට මළසිරුරු සීයක් පමණ සොයා ගෙන ඇති බව ඉතාලි නිලධාරීහු පවසති.

ඉතාලියට ලඟා වෙමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු මින් පෙරත් අනතුරු වලට ලක් ව ඇති නමුත් මෙය ඒ අතර බිහිසුණුම අනතුර හැටියටයි විග්‍රහ කෙරෙන්නේ.

කිමිදුම් කරුවන් මීටර් පණහක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ මළ සිරුරු සොයමින් සිටින අතර, කිසිවකු පණ පිටින් සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවයි, ඉතාලි නිලධාරීන් පවසන්නේ.

අනතුරට හේතුව

අප්‍රිකානු සංක්‍රමණිකයන් කණ්ඩායමක් රැගෙන ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබුණ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබුණේ ‘ලම්පෙදුසා’(Lampedusa) දූපතට සැතපුමක් පමණ තිබියදී.

අනතුරින් දිවි බේරුන සංක්‍රමනිකයෙක් පවසන ආකාරයට, තමන් බේරා ගන්නා මෙන් ගොඩ බිමට දැනුම් දීම් වස් එක් සංක්‍රමනිකයකු විසින් කම්බිලියකට ගිනි තබනු ලැබීමේදී බෝට්ටුවේ තිබුන ඉන්ධන ගිනි ගැනීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

බෝට්ටුවට ගිනි ඇවිලීමේදී කලබල වූ සංක්‍රමණිකයන් එහි එක් පැත්තකට පැන ගැනීමත් සමඟයි,බෝට්ටුව පෙරැලී ඔවුන් මුහුදට වැටී තිබෙන්නේ.