මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මානවීය අර්බුදයක්

Image caption ආරක්‍ෂාව පතා වන ගතව සිටි පවුලක්.

කැරලිකරුවන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇතිවූ අර්බුදකාරී තත්වය හේතුවෙන් දස දහස් ගණනින් මහ ජනතාව ඔවුන් ජීවත් වූ ගම්බිම් හැරදා පළා යන්නට පටන් ගෙන ඇතැයි දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය කියා සිටී.

ජනාධිපති ප්‍රන්ෂුවා බොෂිශේ(Francois Bozize) පදවියෙන් පහ කොට කැරලිකරුවන් මාර්තු මාසයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුවයි,මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ව්‍යාකූල තත්වයක් උද්ගත වුනේ.

එතැන් පටන් රටේ වාතාවරණය ඉතාම නරක අතට හැරෙමින් දරුණු මානවීය අර්බුදයක් මතුව ඇති බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය කියා සිටී.

ඇතැම් ගම්මාන සම්පුර්ණයෙන්ම ගිනිබත් කොට වනසා දමා ඇති බවයි,එම සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ.

වෙඩි තැබීම්,මිනීමැරුම්, ළමුන් සහ කාන්තාවන් ද ඇතුළුව මහජනයා කපා කොටා ඔවුන්ට වධ හිංසා දීම් ආදී අපරාධ තම සාමාජිකයන් දැක ඇති බවයි,දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය කියා සිටින්නේ.