කුරාම් ෂේක් නඩුවේ පැමිණිල්ලට විශේෂ නීතිවේදියෙක්

Image caption කුරාම් ෂේක් නඩු විභාගය ප්‍රමාද බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙයි.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමනු ලැබීම පිළිබඳ නඩු විභාගය කඩිනම් කිරීමේ පියවරක් ලෙස එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා විශේෂ නීති නිලධාරියෙක් පත් කිරීමට තීරණය කර ඇති බව නීතිපති පාලිත ප්‍රනාන්දු පවසයි.

මෙයින් අවුරුදු දෙකකට පෙර නත්තල් දිනයේ කුරාම් ෂේක් මරා දැමුනේ තංගල්ල අසල මැඩිල්ලේ හෝටලයකදී.

කුරාම් ෂේක් රුසියානු ජාතික සිය සහකාරියත් සමඟ එම හෝටලයේ සිටියදී ඔවුන් දෙදෙනාම ප්‍රහාරයකට ගොදුරු වූ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු කණ්ඩායමටයි.

නීතිවේදියාගේ කාර්යය

සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් නීතිපතිවරයා කියා සිටියේ, අදාළ සිද්ධිය සඳහා ලැබී ඇති ප්‍රසිද්ධිය හමුවේ එය විශේෂ නඩු විභාගයක් ලෙස සලකා ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කරන බවයි.

එසේ පත් කරනු ලබන නීතිවේදියා කුරාම් ෂේක් නඩු විභාගයේ කටයුතු සඳහා පුර්ණ කාලීන සේවයේ යෙදෙනු ඇති බව ද නීතිපතිවරයා කියා සිටියි.

මේ අතර ඊයේ බදාදා, විදේශ මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කළේ, එම නඩු විභාගය කඩිනම් කිරීම සඳහා පියවර ගන්නා මෙන් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර