ඇමෙරිකානු නැවක් ඉන්දියානු අත්අඩංගුවේ

විශාල අවි තොගයක් ද රැගෙන අනවසරයෙන් ඉන්දියානු මුහුදු කලාපය තුලට පිවිස තිබුණ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් නැවක කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගත් බව ඉන්දියානු පොලිසිය පවසයි.

සියරාලියෝනයේ ලියාපදිංචි කරන ලද්දක් වන ‘MV Seaman Guard Ohio’ නම් නැව ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ආරක්‍ෂක සමාගමකට අයත් වූවක් වන බවයි,නිලධාරීන් පවසන්නේ.

ඉන්දියානු වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් පසුගිය සතියේ රඳවා ගනු ලැබ තිබුන ඇමෙරිකානු නැව තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තිකුඩි වරායට මේ වන විට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නැවේ කාර්ය මණ්ඩලය තිස්පස් දෙනකුගෙන් සමන්විත වන අතර,ඉන්දියානු,බ්‍රිතාන්‍ය ,යුක්රේනියානු සහ එස්තෝනියානු ජාතිකයන් ද ඔවුන්ට ඇතුළත් වෙති.

ඉන්දියානු සාගරයේ යාත්‍රා කරන නැව්වලට මුහුදු කොල්ලකරුවන්ගෙන් තර්ජන එල්ල වෙමින් පවතින අතර,වෙළෙඳ නැව්වලට සන්නද්ධ ආරක්ෂකයන් යොදා ගැනීම නිතරම මෙන් සිදු කෙරෙයි.

ඉන්දියානු ධීවරයන් දෙදෙනකු මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලබන ඉතාලි ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකින් අනතුරුව, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පටන් ඉන්දියාව සහ ඉතාලිය අතරත් අමිහිරි රාජ්‍ය තාන්ත්‍රික අවුලක් මතුව ඇත.