‘සෞදි අරාබියේ ඉටු නොකළ පොරොන්දු’

Image caption සෞදි අරාබි පාලකයන්ට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයකදී සපත්තු අතට ගෙන සිටින විරෝධතාවාදීන්.

සෞදි අරාබියේ මානව හිමිකම් වාර්තාව තවත් පිරිහෙමින් ඇති බවයි, ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ.

මෙයින් අවුරුදු හතරකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන් පොරොන්දු ඉටු කිරීමට සෞදි අරාබිය අසමත් වී ඇතුවා පමණක් නොව, රට තුළ මර්දනය තවත් දැඩි කර ඇති බවයි, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙන්නේ.

සාමකාමී විරෝධතාවාදීන් හිතුවක්කාරී ආකාරයට අත්අඩංගුවට ගනු ලබන අතර, ඔවුන් වධ හිංසාවන්ට ගොදුරු කෙරෙන බවත් සාධාරණ නඩු විභාග නොපැවැත්වෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩි දුරටත් කියා සිටියි.

එවැනි පිළිවෙතක් ගෙන යන අතරවාරයේ සෞදි බලධාරීන් ජාත්‍යන්තර විවේචන මඟ හැරීමේ උපායක් වශයෙන් ආර්ථික කරුණු පාවිච්චි කරන බවයි, මානව හිමිකම් සංවිධානයේ අදහස වන්නේ.

මානව හිමිකම් මණ්ඩලය

'සෞදි අරාබියේ ඉටු නොකළ පොරොන්දු’ යන තේමාව යටතේ ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබ ඇති අතර, ජිනීවා නගරයේ දී අද, විසි එක්වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවතම සාකච්ඡා වටය ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබියදී යි, එය ප්‍රකාශයට පත් කෙරුණේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන අසුනක් පසුගිය සතියේ සෞදි අරාබියට පිරිනැමුනත් සෞදි බලධාරීන් විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි.