කාර් බෝම්බවලින් ඉරාකයේ පණහක් මරුට

Image caption වෙළඳ පොලක් සහ බස් රථ නැවතුම් පොලක් ප්‍රහාරකයන්ගේ ඉලක්ක වී තිබේ

ඉරාකයේ කාර් බෝම්බ ප්‍රහාර මාලාවකින් පණහකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

බොහෝ දෙනෙක් මියගොස් තිබෙන්නේ බැග්ඩෑඩ් අගනුවර ෂියා මුස්ලිම් නිකායවාදීන් බහුලව වාසය කරන ප්‍රදේශ ඉලක්ක කරගෙන, සංවිධානාත්මකව එල්ල කෙරුණ කාර් බෝම්බ වලට හසුවයි.

කාර්ය බහුල වෙළඳ පොලක් සහ බස් රථ නැවතුම් පොලක් ප්‍රහාරකයන්ගේ ඉලක්ක වී තිබූ බවයි පැවසෙන්නේ.

වැඩිම පිරිසක් මිය ගොස් තිබුනේ උතුරු ඉරාකයේ මොසුල් නගරයේ බැංකුවක් අසළ පුපුරා ගිය කාර් බෝම්බයකට හසුවයි.

මාසික වැටුප ලබා ගැනීම සඳහා බැංකුවට පැමිණ සිටි හමුදා භටයන් ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙක් එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ.

ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර ගත වූ මාසය තුළ පමණක් පුද්ගලයන් හාරසීයක් පමණ මරණයට පත් ව ඇති බවයි බැග්ඩෑඩ් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.