සමුළුවට යන්න එපා - ලන්ඩන් නුවර පෙළපාලි

අගමැති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂණය
Image caption 'ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන්න'

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වරජන්ය කරන මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටිමින් සිය ගණනක පිරිසක් අගමැති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ.

අගමැති ඩේවිඩ් කැමරන්, ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සහ විදේශ ලේකම් විලියම් හේග් ඇතුළු බ්‍රිතාන්‍ය දූත මණ්ඩලය සමුළුවට සහභාගි වීම, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඍජු සහාය දැක්වීමක් බව උද්ඝෝෂකයන්ගේ චෝදනාව වී තිබුණි.

සෙනසුරාදා සවස උද්ඝෝෂණය හමාරයේ අගමැති ඩේවිඩ් කැමරන්ට පෙත්සමක් භාර දුන් බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන මෙන්ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඇම්නස්ටි ජාත්‍යන්තරය

ඊට පෙරාතුව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ සිය ගණනක පිරිසක්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව අවධානය යොමු කිරීම පිණිස රාජ්‍ය නායක සමුළුව යොදා ගන්නා මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

බ්‍රිතාන්‍යය ඇතුළු ලෝක නායකයන් සමඟ ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කිරීමට පිණිස පමණක් සමුළුව යොදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්තාව ලබා නොදිය යුතු බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ.

සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබෙන අතර, එයට සහභාගි වන්නේද යන්න පිළිබඳව අගමැති මන් මෝහන් සිං තවමත් තීරණය කොට නැති බව ඉන්දීය බලධාරීහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර