බකිංහැම් මාළිගය ඉදිරිපිට ගැටුම්

ලන්ඩන් නගරයේ,බකිංහැම් මාළිගය ඉදිරිපිට අඟහරුවාදා රාත්‍රියේ,විරෝධතා ව්‍යාපාරයක් පෙරට යමින් පවතින අතරවාරයේ ඇති වුණු ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් දහ දෙනෙකුට අධික කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

මහජනතාව මුහුණ දී ඇති ආර්ථික ප්‍රශ්න සහ ඊට විසඳුම් හැටියට බලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන පටි තදකර ගැනීමේ ආර්ථික පිළිවෙතට එරෙහිව එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ Anonymous නම් සංවිධානය විසිනුයි.

එම සංවිධානය එදින එවැනි තවත් විරෝධතා ව්‍යාපාර ඇමරිකාවේ, බ්‍රසීලයේ සහ ජපානයේ ද සංවිධානය කර තිබුණි.

ගයි ෆෝක්ස්

සිය ගණනක් සහභාගී වූ ලන්ඩනයේ පැවති විරෝධතාවට සහභාගී වූවන්ගෙන් වැඩි දෙනෙක් ‘ගයි ෆෝක්ස්’ වෙස් මුහුණු පැළඳ සිටනු දක්නට ලැබුණි.

එම වෙස්මුහුණු පැළඳීම හා ගිනිකෙළි සංදර්ශන මගින් සමරණු ලබන්නේ ගයි ෆෝක්ස් නම් පුද්ගලයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පුපුරුවා හැරීමට දහ හත්වැනි සියවසේ දී ගත් උත්සාහයයි.

Anonymous සංවිධානයේ විරෝධතාවාදීන් සහ පොලිසිය අතර ගැටුමේදී බකිංහැම් මාළිගය ඉදිරිපිට පිහිටි වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාවට සහ තවත් ප්‍රතිමාවකට හානි සිදු ව ඇති බවත් වාර්තා වෙයි.