පරාභව සූත්‍රය සංශෝධනය කළ නොහැකියි!

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යන කැසිනෝ නීතියේ සංශෝධනයක් නොව එය සහමුලින්ම හකුළා ගත යුතු ව ඇතැයි ජාතික හෙළ උරුමය සහ කැසිනෝ විරෝධී ජාතික එකමුතුව කියා සිටියි.

ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති කැසිනෝ වැඩපිළිවෙලට විරෝධය පළ කිරීම සඳහා අද, බදාදා කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට රැස් වී සිටි හෙළ උරුමයේ සහ කැසිනෝ විරෝධී ජාතික එකමුතුවේ සාමාජිකයෝ කියා සිටියේ, පනත් කෙටුම් පතේ සංශෝධනයකින් සෑහීමකට පත්විය නොහැකි අතර, ආණ්ඩුව සමස්ත පනත් කෙටුම්පත හකුළා ගත යුතු බවයි.

ඒ සඳහා ආණ්ඩුවට බල කිරීම සඳහා නව නගර ශාලාව ඉදිරිපිට රැස්ව සිටි උද්ඝෝෂකයෝ කැසිනෝ සූදුව සහ ගණිකා වෘත්තිය නීතිගත නො කළ යුතු යයි පැවසෙන සටන් පාට හඬ නගමින් සිටියහ.

කැසිනෝ සූදුව නීතිගත කෙරුණොත් අනාගතයේ දී ගණිකා වෘත්තියත් නීතිගත කරනු ලැබීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පරාභව සූත්‍රය

කැසිනෝ විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු,රන්පත්විල විමලරතන හිමියන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පනත් කෙටුම්පතේ සංශෝධනයක් නොව මුළු පනත ඉවත් කර ගැනීමේ බලය ජනාධිපතිවරයා සතු වෙන බවයි.

කැසිනෝ වැනි සූදු, බෞද්ධ පරාභව සූත්‍රය මගින් අනුමත නොකෙරෙන බව පෙන්වා දුන් විමලරතන හිමියෝ, සංශෝධන වලින් පලක් නැති බවත් කිසිවකුට පරාභව සූත්‍රය සංශෝධනය කළ නො හැකි බවත් සඳහන් කළහ.

“දුරාචාරය දුරාචාරයම” යයි කියා සිටි උන්වහන්සේ, කැසිනෝ පනත හකුළා ගනු ලබන තෙක් ඊට එරෙහි සටන පෙරට ගෙන යන බවත් සඳහන් කළහ.

පරාභව සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සූදු අන්තුවකු වීම මනුෂ්‍යයකුගේ පිරිහීමට හේතු වෙයි.