ඉම්රාන් කාන් ඇමෙරිකාවට අනතුරු අඟවයි

ඇමෙරිකා එක්සත් ජනපදය නියමුවන් රහිත යානා යොදා ගනිමින් පකිස්තාන් භූමියේ එල්ල කරනු ලබන ප්‍රහාර මේ මාසයේ අවසානයත් සමඟ නතර නො කළොත් ඇෆ්ඝනිස්තානයේ රඳවා සිටින නේටෝ යුද හවුලේ හමුදාවන් සඳහා අවශ්‍ය සැපයුම් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන මාර්ග අවහිර කරන බවට ඉම්රාන් කාන් අනතුරු ඇඟවීමක් කරයි.

පකිස්තානයේ විපක්‍ෂ දේශපාලනඥයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් එම අනතුරු ඇඟවීම කළේ බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

සාමයට බාධාවක්

එම සාකච්ඡාවේදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඉම්රාන් කාන්, නියමුවන් රහිත යානයක් යොදා ගනිමින් ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් පකිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ නායක හකිමුල්ලා මෙහ්සුඩ් පසුගිය සතියේ මරා දමනු ලැබීම ආණ්ඩුව සහ එම සංවිධානය අතර පෙරට යමින් තිබුණ සාම ප්‍රයත්නය සිතා මතාම විනාශ කිරීමක් හැටියටයි විග්‍රහ කළේ.

නොවැම්බර් මාසයේ විසි වෙනිදා වන විට එවැනි ඇමෙරිකානු ප්‍රහාර නතර නොකළොත් නේටෝ හමුදාවන්ට සැපයුම් සිදු කෙරෙන කයිබර් මාර්ගය අවහිර කෙරෙන විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට පියවර ගන්නා බව ඉම්රාන් කාන් අවධාරණය කරයි.