කොළඹදී රඳවා ගත් විදේශීය මන්ත්‍රීවරියන් නිදහස්

ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකා ලී රියනන් සහ නවසීලන්ත මන්ත්‍රීනී ජෑන් ලෝගී රැඳවුම් භාරයේ
Image caption ශ්‍රී ලංකාවේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බව මන්ත්‍රීවරියෝ පවසති

හරිත පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු කොළඹදී රඳවා තබා ගැනීම පිලිබඳ කරුණු සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකා ලී රියනන් සහ නවසීලන්ත මන්ත්‍රීනී ජෑන් ලෝගී ඉරිදා මාධ්‍ය වේදීන් සහ පුරවැසි කණ්ඩායම් නියෝජිතයන් මුණ ගැසෙමින් සිටිය දී ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත්‍ර අත් අඩංගුවට ගෙන පැය තුනකට අධික කාලයක් රඳවා තබා ගෙන සිටි බව සෙනෙට් සභික වරිය ගේ කාර්යාලය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අවස්ථාවක සිදු කැරුණු මේ රඳවා තබා ගැනීම සමුළුව සම්බන්ධ 'විශාල උද්යෝගයට' හානිකර නොවන බවයි ජීඑල් පීරිස් අමාත්‍යවරයා බීබීසී සංදේශයේ අසාම් අමීන්ට හම්බන්තොට දී ප්‍රකාශ කළේ.

'නීති උල්ලංඝනය කරලා'

ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා පවසන්නේ මන්ත්‍රී වරියන් වීසා නීති උල්ලංඝනය කොට ඇති බවයි.

දෙදෙනාම සංචාරක වීසා බලපත් ලබා රටට ඇතුල් වී නීති උල්ලංඝනය කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව ආගමන විගමන පාලකයා පවසයි.

ලී රියනන් සෙනෙට් සභිකාව පෙරලා සියරට බලා ගුවන් ගතවූ බව පවසන ඇගේ මාධ්‍ය ප්‍රකාශිකා බ්‍රාමි ජෙගන් කියා සිටින්නේ සංචාරයට පළමු ඒ බව ශ්‍රී ලංකාවේ රජයටත් ඕස්ට්‍රේලියාවේ විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවටත් දැනුම් දී තිබුණු බවයි.

ශ්‍රී ලංකාවේ කරුණු සොයා බැලීමේ මෙහෙයක නිරත වූ තමන්ට රටේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බවයි මන්ත්‍රී වරියන් දෙදෙන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ.

එසේ හෙයින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ නො පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රජයට ඉදිරි වසර දෙක තුලදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය හිමි නොවිය යුතු බවත් ඔවුහු පවසති.

සඳුදා සිඩ්නි ගුවන් තොටුපලේදී දී ජනමාධ්‍ය වේදීන් හමුවන ලී රියනන් තමන් හෙළි කරගත් තොරතුරු මේ සතියේ දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඇගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර