සෞදියේ සංක්‍රමණිකයන් පනස් දහසක් රැඳවුම් භාරයේ

සෞදි අරාබි බලධාරීන්, එරට වෙසෙන වාස බලපත් නොමැති සංක්‍රමණිකයන්ට එරෙහි මෙහෙයුම් මගින් අල්ලා ගත් කම්කරුවන් පනස් දහසක් පමණ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

විසි දහසකට අධික ඉතියෝපියානු කම්කරුවන් රටින් පිටුවහල් කරනු ලබන තෙක් රියාද් අගනුවර සීමාවේ පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් කරා බස් රථ මගින් ගෙන යන ලද බවයි, සෞදි අරාබියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ, රියාද් නගරයේ එක් කලාපයක ඉතියෝපියානු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමෙන් අනතුරුවයි.

එම විරෝධතා ව්‍යාපාරයේ දී අඩු තරමින්, එක් පුද්ගලයකු වත් මරණයට පත් වූ බව ද වාර්තා විය.

තම රටවැසියන්ට සලකනු ලබන ආකාරය හෙළා දැකීම සඳහා ලොව පුරා සෞදි අරාබි තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන මෙන් ඉතියෝපියානුවන් අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කර තිබේ.