ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාර

ලෙබනනයේ බේරූට් අගනුවර ඉරාන තානාපති කාර්යාලයේ හට ගත් පිපිරීම් දෙකකින් විස්සකට අධික පිරිසක් මරුමුවට පත් වූ අතර, තවත් එක සිය පණහකට ආසන්න පිරිසකට තුවාල සිදු විය.

සංස්කෘතික කටයුතු සම්බන්ධ තානාපති කාර්යාලයේ නිලධාරියාද මිය ගිය පිරිස අතර සිටින බව ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

"මේ වගේ ක්‍රියා ඉරාන ඉස්ලාමීය ජනරජයේ සාධාරණ ප්‍රතිපත්ති සහ කලාපයේත් මුළු ලෝකයේමත් ඊශ්‍රායල සැලසුම්වලට එරෙහිව සටන්කාමී කණ්ඩායම් ලබා ගත් ජයග්‍රහණවලට විරුද්ධව කරන දේවල් කියන එක මේකෙන් සනාථ වෙනවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් නිලධාරියකු මිය ගිය බවට තානාපතිවරයා කළ ප්‍රකාශය වෙනත් නිලධාරීහු පසුව ප්‍රතික්ෂේප කළහ.

තානාපති කාර්යාලයට බරපතල විනාශයක් සිදු වී ඇති බවත්, වාහන ගිනි බත් වන අන්දමත්, දැවී අළු වී තිබුණු මළ සිරුරු සහ අහසට නැගෙන ඝන දුමාරය වීඩියෝ පටවල සටහන්ව තිබිණ.

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ලෙබනන් සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන අබ්දුල්ලා අසාම් බලකාය මරා ගෙන මැරෙන ප්‍රහාරවල වගකීම භාර ගෙන තිබේ.

ඉරානය සිරියානු ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙක්.

සිරියාව සහ ලෙබනනය අතර දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙමින් තිබෙන අතරවාරයේයි, තානාපති කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වුනේ.