ඉන්දියානු කාන්තාවන්ට වෙනම බැංකුවක්

ඉන්දියාවේ රාජ්‍ය බැංකු අංශයට කාන්තා බැංකුවක් ද එක් කිරීමට ඉන්දීය මහ බැංකුව පියවර ගෙන ඇත.

BMB යන කෙටි යෙදුමෙන් හඳුන්වනු ලබන,'භාරතීය මහිලා බැංකුවේ' මූල්‍ය කටයුතු ආරම්භ කෙරුණේ, ශාඛා හතක් විවෘත කරමින්. 2014 මාර්තු මාසය වන විට ශාඛා විසිපහක් ද ,2017 වන විට එහි ශාඛා පන්සියයක් ද විවෘත කිරීම ඉන්දීය ‘මහිලා බැංකුවේ’ සැලැස්මයි.

බැංකු වැනි විධිමත් මූල්‍ය ආයතන සමඟ දැනට ගනු දෙනු කරන ඉන්දියානු කාන්තාවන් ගේ ප්‍රතිශතය 26% ක් වන අතර, පුරුෂයන්ගේ ප්‍රතිශතය 46% ක මට්ටමක පවතී.

එවැනි පසුබිමක් යටතේ නව බැංකුවේ රැකියා කාන්තාවන්ට වෙන් කෙරෙන අතර ගනු දෙනු වලත් මුල් තැන ලබන්නේ කාන්තාවන්.

භාරතීය මහිලා බැංකුවේ සභාපති,ඌෂා ආනන්ද සුබ්‍රමනියම්. බීබීසී හින්දි අංශයේ රූපා ජා සමඟ අදහස් දක්වමින් කියාසිටියේ ස්ත්‍රී -පුරුෂ දෙපාර්ශ්වයට ම ‘මහිලා බැංකුවේ’ ගිණුම් ආරම්භ කිරීමට හැකි වෙතත් බැංකුව තැන්පතු භාර ගැනීමේදී සහ ණය දීමේදී කාන්තාවන්ට ප්‍රමුඛත්වය දෙන බවයි.

Image caption අගමැති මන් මොහාන් සිං සහ සෝනියා ගාන්ධි 'මහිලා බැංකුව' විවෘත කරමින්.

“අපේ මූලික අරමුණ වෙන්නේ,මූල්‍ය ගනු දෙනු සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම සහ මුදල් පාවිච්චියේදී කාන්තාවන් අතට බලයක් ලබා දීම.” බැංකු සභාපතිවරිය පවසයි.

බැංකුව විවෘත කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කරමින්, ඉන්දීය මාධ්‍ය ආණ්ඩුව පසුගිය පෙබරවාරි මාසයේ කියා සිටියේ, ඩොලර් දශ ලක්ෂ 184 ක මූලික ප්‍රාග්ධනයක් සමඟ වැඩ පිළිවෙළ දියත් කරන බවයි.

කාන්තාවන් බල ගැන්වීම

ඉන්දියාවේ මුදල් ඇමති පී.චිදම්බරම් ප්‍රකාශයක් කරමින්, භාරතීය මහිලා බැංකුවේ රැකියා සඳහා කාන්තාවන් බඳවා ගන්නා අතර,ණය දීමේ දීත් කාන්තාවන්ට වැඩි තැනක් දෙන බවයි කියා සිටියේ.

මුදල් ඉතිරි කර ගැනීම අතින් කාන්තාව පිරිමියාට වඩා නුවණැති යයි පිළිගැනීමක් තිබුනත්, තමන් විසින් හරි හම්බ කර ගනු ලැබූ දෙයක් වේ නම් ඒවා ස්වාමි පුරුෂයා අත තැබීම ඉන්දියානු කාන්තාවන්ගෙන් බහුතරයේ පුරුද්දයි. එවැනි ඉන්දීය කාන්තාවට භාරතීය මහිලා බැංකුව නිසා තමන්ගේ ම ගිණුමක් පවත්වා ගෙන යාමට අවස්ථාව උදා වෙන බවයි වාර්තා කරුවන් පවසන්නේ.

අද ලෝක මට්ටමින් ගත් විට ජනගහනයෙන් 50% කට බැංකු පහසුකම් ඇතත්, ඉන්දියානුවන්ගෙන් බැංකු සේවා පහසුකම් ලැබෙන්නේ,35% කට පමණකි.

එසේම ඉන්දියාව පුරා විවිධ බැංකු ශාඛා ලක්ෂයක් පමණ දැනට ක්‍රියාත්මක වෙමින් ඇතත්, හය ලක්ෂ පනස් දහසකට අධික ඉන්දියානු ගම්මාන සංඛ්‍යාවකට එක ම බැංකුවක් වත් නැති බවත් වාර්තා වෙයි.