දියණිය මරා දැමූ දෙමව්පියන්ට දඬුවම්

සිය තරුණ දියණිය සහ නිවසේ මෙහෙකරු ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටි යුවළක් එම චෝදනාවට වැරදි කරුවන් බව ඉන්දියාවේ අධිකරණයක් තීන්දු කර ඇත.

මෙය සමස්ත ඉන්දියාව ම කම්පණයට පත් කළ අපරාධයක්.

2008 වසරේ දී දාහතර හැවිරිදි සිය දියණියගේ උගුරු දණ්ඩ කපා මරා දැමීම පිළිබඳව චෝදනා ලබා සිටියේ,දිල්ලි අගනුවර දන්ත වෛද්‍යවරුන් වන රාජේශ් තල්වාර් සහ ඔහුගේ බිරිඳයි.

තල්වාර් දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් නිවසේ මෙහෙකරුට මුලින් චෝදනා එල්ල කෙරුණත්, ඔහුගේ මළ සිරුරත් නිවසේ වහලේ සඟවා තිබී පසුව හමු වී තිබුණි.

දියණිය මෙහෙකරු සමඟ යහන්ගතව සිටිනු දුටු දෙමාපියන් කෝපාවිෂ්ඨව ඔවුන් දෙදෙනාම මරා දමා ඇති බවයි,පැමිණිල්ල චෝදනා කළේ.

චූදිත යුවළේ තර්කය වී තිබුණේ, එහෙත් පොලිසිය නිසි පරිදි පරීක්ෂණය මෙහෙය වූයේ නැති බවයි.

නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් චූදිත තල්වාර් යුවළගේ නීතිවේදියා කියා සිටියේ,එය ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ,එසේම කිසිදු සාක්ෂියකින් තොර ව දෙන ලද තීන්දුවක් හැටියටයි.

නීතිවේදියා වැඩි දුරටත් කියා සිටියේ,තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.