න්‍යෂ්ටික ගිවිසුමට ඉරාන ජනතා ප්‍රශංසා

  • 2013 නොවැම්බර් 25

න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග ස්විට්සර්ලන්තයේ දී ගිවිසුමකට එළැඹි ඉරාන සාකච්ඡා කරුවන් සියරට එද්දී ඔවුන් පිළිගනු ලැබුවේ ඔල්වරසන් නගන පිරිසක් විසින්.

සිය ගණනක් ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉරාන සාකච්ඡා කරුවන් ටෙහෙරාන් අගනුවරට ළඟා වූයේ එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය සමග අන්තර් කාලීන න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමෙන් අනතුරුවයි.

‘ඓතිහාසික අත්වැරැද්දක්’ ලෙසින් මෙම එකඟතාව හැඳින්වූ ඊශ්‍රායල අගමැති බින්යමින් නෙතන්යාහු දුරකතනයෙන් ඇමතූ එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා වොෂින්ටන් පාලනය ඊශ්‍රායලය වෙනුවෙන් දක්වන කැපවීම යළි සහතික කිරීමට වීරිය කොට තිබේ.

ජිනීවා නුවර දී ඉරිදා ඇති කර ගත් එකඟතාවෙන් අනතුරුව ඉරාන තෙල් අලෙවිය පහසු වෙතැ’යි ජාත්‍යන්තර ව්‍යාපාර අතර අපේක්ෂා දැල්වීමත් සමග සඳුදා තෙල් මිල පහත වැටුණි.

විශාලත්වයෙන් ලෝකයේ සිව් වැනි තැන ගන්නා තෙල් සංචිත හිමි ඉරානය සම්බාධක වලින් වසර දෙකක් පීඩා වින්දේය.

ඩොලර් කෝටි හත්සියයක් පමණ වන සහන අපේක්ෂාවෙන් ඉරානය තමන්ගේ ඇතැම් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත් හිටුවන්නට එකඟ වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර