යුක්රේනයේ දහස් ගණන් ජනතාව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ

හිම පතනය සහ අධික සීතල කාලගුණයද නොතකා දහස් ගණන් ජනතාව යුක්රේනයේ කියෙෆ් අගනුවර ජනාධිපති වික්තර් යනුකොවිච්ගේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයට එක් වී සිටියහ.

යුරෝපා සංගමයට සහාය පළ කරන විසි දහසකට ආසන්න ජනකායක් අගනුවර නිදහස් චතුරශ්‍රයේ බාධක ඉදි කර ගෙන උද්ඝෝෂණයේ යෙදී සිටින බවයි එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

තවත් විරෝධතාවාදීන් ජාතික බැංකුව සහ ආණ්ඩුවේ කාර්යාල වට කර ගෙන සිටිනවා. යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට විරුද්ධ පක්ෂ ඉල්ලා සිටිති.

සිය ඉල්ලීම් ඉටු වන තුරු ඉවත්ව නොයන බවයි බොහෝ උද්ඝෝෂකයන් පවසන්නේ.

"පේනවා නේද අපේ මේ කූඩාරම්? පාර්ලිමේන්තුව විසුරුවලා කැබිනට් මණ්ඩලේ ඉල්ලා අස් වෙන කම්ම අපි මෙතන ඉන්නවා. අපි ගෙදර යන්නේ නෑ. අපි දන්නවා එයාල හැම දේම කරාවි එත් අපි ආපහු යන්නේ නෑ," යනුවෙන් එක් උද්ඝෝෂකයෙක් කියා සිටියේය.

සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්නා මෙන් යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරෝසෝ මේ අතර දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර