අගමැති ලිපිය ගැන පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක්

Image caption සමාගම අලුත් ව්‍යාපාරයක් වන හෙයින් බදු සහණ සලසන ලෙසයි අගමැති කාර්යාලයේ ලිපිය මගින් දැනුම් දී තිබෙන්නේ.

තමාගේ අනුමැතියකින් තොරව කිසිදු අවස්ථාවක ලිපි ලේඛන නිකුත් නො කරන මෙන් සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දුන් බව අගමැති දිමු ජයරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පකිස්තානයේ සිට ආනයනය කළ භාණ්ඩ තොගයකට බදු සහන ලබා දෙන මෙන් ඉල්ලමින් අගමැති කාර්යාලයෙන් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් පසුව,අදාළ කන්ටේනරයේ හොරොයින් තොගයක් තිබුණු බව අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් මතු වීමෙන් අනතුරුවයි,අගමැතිවරයා එම ප්‍රකාශය කළේ.

පරීක්ෂණවලින් අනතුරුව අදාළ ලිපිය නිකුත් කල නිලධාරියාට එරෙහිව පියවර ගන්නා බවත් අගමැතිවරයා පවසයි.

පකිස්තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට ගෙන ආ නාන කාමර කට්ටලවල සඟවා තිබුණු හෙරොයින් තොගය පසුගිය අගෝස්තු මාසයේ සොයා ගත් අවස්ථාවේ, එය දකුණු ආසියාවෙන් මෙතෙක් සොයා ගත් ලොකුම හෙරොයින් තොගය බව රේගු නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණි.

බදු සහණ

ඩොලර් දස ලක්ෂ ගණනක් වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 131-160 ත් අතර ප්‍රමාණයක් කන්ටේනරයේ තිබුණු බවයි වාර්තා වෙන්නේ.

අදාළ කන්ටේනරයේ භාණ්ඩ වෙනුවෙන් බදු සහනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් එය රේගුවේ රඳවා තිබෙන අතරවාරයේ අගමැති කාර්යාලයෙන් නිකුත් කෙරුණ ලිපියක් රේගු නිලධාරීන්ට යවා තිබෙන බව පසුව අනාවරණය වී තිබුණි. කන්ටේනරයේ හෙරොයින් අඩංගු බව අනාවරණය වීමට පෙරයි, එම ලිපිය යවා තිබු නේ.

එම ලිපිය යොමු කරන්නේ අගමැති දිමු ජයරත්න වෙනුවෙන් බව ද එහි සඳහන් වී තිබුණි. එහෙත් එවැනි සියලු ලිපි තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි, අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.

පරීක්ෂණ නිම වූ පසු අදාළ පුද්ගලයාට දඬුවම් කරන බවත් දි.මු.ජයරත්න අගමැතිවරයා කියා සිටියි. ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය ජාවාරමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් ඇති බවට ජන මාධ්‍ය මගින් අනතුරු ඇඟවීමක් කර තිබුණි.