ලෝක නායකයන්ගේ ප්‍රණාමය

දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ නායක, අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් ලෝකය පුරා රාජ්‍ය නායකයන්ගේ සංවේගය පළ වෙමින් පවතියි.

සියලු ම රාජ්‍ය නායකයන් මැන්ඩෙලා වෙනුවෙන් ඔවුන්ගේ උපහාරය පුදන්නේ භාෂාවේ ඉහළම වචන නොමසුරුව පාවිච්චි කරමින්.

අවස්ථා කීපයක් ම නෙල්සන් මැන්ඩෙලා මුණ ගැසී ඇති බ්‍රිතාන්‍ය එලිසබත් රැජින, එම උණුසුම් මුණ ගැසීම් මතකයට නංවමිනුයි, ඔහුගේ මරණය වෙනුවෙන් ඇයගේ සාතිශය සංවේගය පළ කරන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු නායකයා විග්‍රහ කළේ, “අපේ කාලයේ උත්තුංග නායකයකු” හැටියටයි.

උත්තුංග නායකයා

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වෙනුවෙන් සිය උපහාරය පුදන ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බරක් ඔබාමා, “නෙල්සන් මැන්ඩෙලා විශ්ව සදාචාරයේ ගමන් මාර්ගය යුක්තිය දෙසට නැඹුරු කළ පරමාදර්ශය” ලෙසයි විග්‍රහ කරන්නේ.

“මහා කඳු වැනි සමාජ අවහිර බිඳ හෙළමින්, ස්වකීය ජනතාව විජයග්‍රහණය තෙක් මෙහෙය වූ මැන්ඩෙලා, අයුක්තියට සහ මර්දනයට එරෙහිව සටන් වදින ජනතා බලාපොරොත්තුවේ දැල්වෙන ගිණිසිළුව විනැයි” ඉන්දීය අගමැති මන් මෝහන් සිං පවසයි.

“මැන්ඩෙලා යුක්තිය වෙනුවෙන් කැප වූ, එසේම මානව අනුහස මහ පොළොවේ රෝපණය කළ යෝධ පුරුෂයකු” වූ බවයි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් පවසන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් නෙල්සන් මැන්ඩෙලා එම සංවිධානයට එක් කළ මෙහෙය සිහිපත් කරයි.

මානව අනුහස මහ පොළොවට

ජීවිතයෙන් සැලකිය යුත් කාලයක් සිර අඩස්සියේ හෝ නිවාස සිර අඩස්සියේ සිටි බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සුකී ද, මැන්ඩෙලා අභාවය වෙනුවෙන් සංවේගය පළ කරන ලෝක නායකයන් අතරට එක්ව සිටින්නීය.

දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු, ඇමෙරිකාවේ මානව හිමිකම් ක්‍රියාධර ජෙසී ජැක්සන් පියනම සහ ටිබට් බෞද්ධ නායක දලයි ලාමා, නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් ශෝකය පළ කරන ලෝක ආගමික නායකයෝ වෙති.

“ශ්‍රේෂ්ඨ පුරුෂයකුට ඇලුම් කළ මටත්, සෙසු ජනතාවටත් මෙය ඉතා ම ශෝක ජනක පණිවුඩයක්.

දැන් අපි කැප විය යුත්තේ, ඔහු කැප වූ දෙය පෙරට ගෙන යාමටයි.” දලයි ලාමා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර