අන්නා හසාරේ අලුතින් දුෂණ විරෝධී උපවාසයක

දුෂණ විරෝධී ඉන්දීය උද්ඝෝෂක අන්නා හසාරේ යළිත් වතාවක් උපවාසයක් ආරම්භ කොට තිබේ. ඒ දුෂණ වංචා වලට එරෙහිව පාර්ලිමේන්තුවේ දැඩි නීති සම්මත කරවා ගැනීම වෙනුවෙන් වන තම ඉල්ලීම අලුතින් ඉදිරිපත් කරමින්.

දුෂණ වංචා සම්බන්ධයෙන් සැක කැරෙන දේශපාලකයන් හා රජයේ සේවකයන් ට නඩු පැවරීම සඳහා මහජන දුක් ගැනවිලි විමසන ස්වාධීන දුක් ගන්නා රාළ කෙනෙක් පත් කිරීම අන්නා හසාරේ දිගු කලක පටන් කරන ඉල්ලීමක්.

2011 දී එම අදහස පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට මුල පිරුණේ දොළොස් දිනක් තිස්සේ පැවැති ඔහුගේ උපවාසයකින්.

පහල මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව විසින් ‘ලෝක්පාල්’ පනත සම්මත කැරුණත්, එයට අනුමැතිය නොදී ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව කල් දැමුණේ මහත් කලබගෑනියක් මැද.

76 හැවිරිදි අන්නා හසාරේ සිය මෑතම ‘දින නියමයකින් තොර’ උපවාසය අඟහරුවාදා ආරම්භ කළේ බටහිර දිග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි සිය ගම වන රලේගාන් සිද්ධි හිදී.

කොන්ග්‍රස් 'පාවා දීම'

බහුතරයක් ගම්වාසීන් ගෙන් සැදුම් ලත් පන්දහසක පමණ ජනකායක් උපවාසය අරඹද්දී ඔහු වටා රොක් වූ බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බීබීසී හින්දි සේවයට කියා තිබුනේ.

උපවාසය ආරම්භ කිරීමට මත්තෙන් අන්නා හසාරේ වාර්තා කරුවන් ට පවසා තිබුනේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අසමත් වූ පාලක කොන්ග්‍රස් පක්ෂය තමන් ‘පාවා දුන්’ බවයි.

“දිල්ලියේදී මගේ උද්ඝෝෂණය අත් හිටවූ විට මෙම පනත සම්මත කර ගන්නා බවට කොන්ග්‍රසය මට ලිපියක් ලබා දුන්නත් එය තවමත් සිදුවී නැහැ. උපවාසයක නිරත වීම හැර මට තෝරා ගැනීමට වෙනත් දෙයක් නැතැ,”යි ඔහු පැවසීය.

Image caption අරවින්ද් කේජිරිවාල්

අන්නා හසාරේ ගේ දුෂණ විරෝධී ව්‍යාපාරයේ මුල් පෙලේ සහායකයකු වන අරවින්ද් කේජිරිවාල් ගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි හෙවත් පොදු ජනතා පක්ෂය සතිය මුලදී දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ මවිත කරවන සුළු තත්වයක් ප්‍රදර්ශනය කළේ ආසන හැත්තෑවකින් විසි අටක් දිනා ගනිමින්.

අරවින්ද් කේජිර්වාල් දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කිරීම සමගින් දූෂණ විරෝධීන් දෙදෙනා වෙන් වෙද්දී අන්නා හසාරේ කියා සිටියේ ‘ජරාවෙන් පිරි’ දේශපාලනයට වඩා තමන් ‘ශුද්ධ වූ’ උද්ඝෝෂණය අගය කරන බවයි.

'දුෂණ සංස්කෘතියක්'

දෙදෙනා ම ඉල්ලා සිටින්නේ දූෂණ විරෝධී ස්වාධීන දුක් ගන්නා රාළ කෙනෙක් පත් කිරීම.

රජයට ඩොලර් කෝටි තුන් දහස් නවසියයක් පාඩු වන්නට ඇතැයි සැලකෙන විදුලි සංදේශ අල්ලස් අපචාරයක්, 2010 දිල්ලියේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට අදාල ව සිදුවූ මුල්‍ය වංචා සහ යුද වැන්දඹුවන් වෙනුවෙන් වූ නිවාස රාජ්‍ය සේවකයන්ට ලබා දීම ඇතුළු මහත් ප්‍රසිද්ධියක් ලත් දුෂණ චෝදනා මාලාවකින් ඉන්දියාව මෑත වසර කිහිපයේ දී ඇලලී ගියේය.

රජයේ විවේචකයන් පවසන්නේ මේ අපචාර අගමැති මං මෝහන් සිං ගේ පරිපාලනය තුල පැතිර පවත්නා දුෂණ සංස්කෘතියක් හුවා දක්වන බවයි.