ස්මෘති හානියට පිළියම් සොයන සමුළුවක්

Image caption ස්මෘති හානිය ලෝකයේ බරපතළම සෞඛ්‍යය ප්‍රශ්නයක් බවට පත් වී ඇත.

ලන්ඩනයේ ආරම්භ කෙරුණ ප්‍රධාන පෙලේ සමුළුවකදී අදහස් දැක්‌ වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍යය ඇමති,ජෙරමි හන්ට්,( Jeremy Hunt,) ‘ස්මරණ ශක්තිය’ හීන වීමෙන් මහ ජනතාව පත් වෙන ව්‍යාධියට එරෙහිව ගෙන යන සටනට තවත් මුදල් යොදවන මෙන් එම සමුළුවට සහභාගී වෙමින් සිටින වෙනත් රටවලින් ඉල්ලීමක් කළේය.

ඉංග්‍රීසි භාෂාවෙන් ‘ඩිමෙන්සියා’(Dementia) යනුවෙන් හඳුන්වන ‘ස්මෘති හාණි’ රෝගයේ ලක්ෂණ වන්නේ,මතක ශක්තිය නැතිව යාමත් සමඟ මොළයේ සෙසු ක්‍රියා කාරිත්වයටත් බලපෑම් ඇති වීම.

මේ වන විට ලෝක මට්ටමින් එබඳු රෝගීන් කෝටි හතරක් පමණ වාර්තා වී ඇත.

රෝගීන් කෝටි හතරක්

‘‘ස්මෘති හාණි’’ රෝගයට එරෙහි අරගලය පිළිකා, ඒඩ්ස් සහ මැලේරියාවට එරෙහිව කලින් ගිය අරගලයට සමාන වූවක් ,බවයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමුළුව ඉදිරියේ කියා සිටියේ.

ස්මෘති හානිය සඳහා පිළියම් සෙවීමට බ්‍රිතාන්‍යය කරන ආයෝජනය ඉදිරි දස වසර ඇතුළත දෙගුණයක් කරන බවයි අගමැති කැමරන් කියා සිටියේ.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලෝකය ඩොලර් කෝටි හැට දාහක් වැය කරන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසයි.