බංග්ලාදේශයේ තවත් ගැටුම්

බංග්ලාදේශ් ඉස්ලාමීය නායක අබ්දුල් කාදර් මොල්ලා, එල්ලා මරා දමනු ලැබීමෙන් දින දෙකකට පසු සෙනසුරාදා යළිත් ප්‍රචණ්ඩ ප්‍රහාර කීපයක් ගැන බංග්ලාදේශයෙන් වාර්තා වෙයි.

ප්‍රහාර තුනක දී අඩු තරමින් හය දෙනකුවත් මරණයට පත් ව ඇති බවයි, එම වාර්තා මගින් පැවසෙන්නේ.

අබ්දුල් කාදර් මොල්ලාට එරෙහි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම නිසා කුපිත ව සිටින ඉස්ලාමීය විරෝධතාවාදීන් කණ්ඩායමකට පොලිසිය වෙඩි තබනු ලැබීමෙන්, තුන් දෙනකු මරණයට පත් ව ඇත.

‘ජමාට්’ උද්ඝෝෂණ

දකුණුබංග්ලාදේශයේ‘කොම්පනිගන්ජ්’(Companiganj)නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වෙමින් සිටි දහස් ගණනක් ‘ජමාට්’ ඉස්ලාමීය විරෝධතාවාදීන් සමඟ ඇති වූ ගැටුම් වලදී තැබූ වෙඩි පහරින් තුන් දෙනකු මරණයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලද බවයි පොලිසිය පවසන්නේ.

Image caption ඝාතන නතර කරනු -ප්‍රචාරක පුවරුවක්.

“අට දහසක පමණ ‘ජමාට්’ ඉස්ලාමීය ආධාර කරුවන් ආණ්ඩුවේ කාර්යාල හතරකට ගිනි තබමින් අපට වෙඩි තබමින් පහර දුන් අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීමට සිදු විනැ”යි බංග්ලාදේශ් පොලිසිය පවසයි.

‘රම්ගන්ජ්’ ප්‍රහාරය

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්ෂයේ සහ‘ජමාට්’ ඉස්ලාමීය විරෝධතාවාදීන් සිය ගණනක්,උතුරු බංග්ලාදේශයේ ‘රම්ගන්ජ්’ (Ramganj) නගරයේ දී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැගත් රථ පෙළකට පහර දීමෙන් තවත් දෙදෙනකු මරා දැමූ බව එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් බීබීසී බෙන්ගෝලි අංශයට කියා සිටියේය.

අබ්දුල් කාදර් මොල්ලා, බංග්ලාදේශ් යුද අපරාධ අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබ මරණීය දණ්ඩනයට යටත් කරන ලද්දේ,1971 බංග්ලාදේශ් විමුක්ති අරගල සමයෙහි කරන ලද අපරාධ සම්බන්ධයෙන්.

මිනීමැරීම,තුන්සිය පනහකට අධික නිරායුධ සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් මරා දැමීම සහ ස්ත්‍රී දූෂනය සම්බන්ධයෙන් මොල්ලාට එරෙහිව චෝදනා ඉදිරිපත් කොට තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර