විස්සයි විස්ස පළමු තැන ශ්‍රී ලංකාවට

දෙසැම්බර් දහතුන් වෙනි දින ඩුබායි හි පැවැත්වුන විස්සයි විස්ස තරඟාවලියේ දෙවැනි තරඟයේ දී පාකිස්තාන් කණ්ඩායම පරාජය කොට ජය ගනිමින් තරඟාවලිය සම තත්වයෙන් අවසන් කිරීමට සමත් වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තමන් ලැබ සිටි පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරඟ දෙකකට සීමා වූ ‘ඩුබායි’ විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය පාකිස්තාන් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තමන් සතු ව පැවති පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට නම් ,ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්වයකුයි පැවතුණේ.

එම දෙවැනි තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්සේ දී ලකුණු 211 ක් ලබා සිටි අතර, ළකුණු 212 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ දුෂ්කර අභියෝගයටයි, පාකිස්තාන් පිති කරුවන් මුහුණ දී සිටියේ.

දුෂ්කර අභියෝගයක්

Image caption කුමාර් සංගක්කාරගේ ප්‍රතිචාරය.

එහෙත් ඕවර දහ නවයයි පන්දු දෙකක දී පාකිස්තාන් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දවා ලමින් ඔවුන් ළකුණු 187 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තව දුරටත් ක්‍රිකට් ලෝකයේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම වෙති.

ශ්‍රී ලංකා පිති කරුවන් අතරින් විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ළකුණු 84 ක් ලබා ගත් වේගවත් ක්‍රීඩා ඉරියව්ව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අගය කිරීමට ලක් විය.

පාකිස්තාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාජිල් ඛාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව පනහකි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය දෙසැම්බර් 18 වෙනි දින සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර