ඇමෙරිකාව සහ කියුබාව අතර 'ශිෂ්ඨ සම්පන්න සම්බන්ධයක් අවශ්‍යයි'

Image caption 'අප අතර පවතින වෙනස්කම්වලට ගරු කරමින්, සාමකාමී සහජීවනයකට හුරු විය යුතුයි'

තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරන අතරම, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතු බව කියුබාවේ ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කරයි.

සිය රටේ පාලනාධිකාරිය වෙනස් කළ යුතු බවට කෙරෙන ඉල්ලීම එක්සත් ජනපදය අත් හල යුතු බවද ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ කියා සිටියේය.

"ඇමෙරිකාව තමන්ගේ දේශපාලන හෝ සමාජයීය ක්‍රමය වෙනස් කළ යුතුයි කියල අපි ඉල්ලන්නේ නෑ වගේම අපේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡා අපි පිළිගන්නේ නැහැ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

කියුබානු නායකයා ප්‍රසිද්ධියේ ජනතාව ඇමතීම ඉතා දුර්ලභ සිදුවීමක්.

"අපිට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපි අප අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට ඉගෙන ගෙන සාමකාමී සහජීවනයකට හුරු පුරුදු විය යුතුයි."

කියුබානු නායකයා එම ප්‍රකාශය කළේ නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙය අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සමඟ දකුණු අප්‍රිකාවේදී ප්‍රසිද්ධියේ අතට අත දීමෙන් දින කිහිපයකට පසුවයි.

1961 කියුබානු විප්ලවයෙන් අනතුරුව දකුණු අප්‍රිකාව සමඟ සම්බන්ධතා අත් හිටවූ එක්සත් ජනපදය, එවක් පටන් කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධකද පනවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර