දේශපාලන සිරකරුවන්ට ආධාර කරනවා - කදර්කොවුස්කි

Image caption තමා නිදහස් කර ගැනීම පිණිස ක්‍රියා කිරීම ගැන ජර්මානු චාන්සලර්වරියට ඔහු ස්තුතිය කරයි

දේශපාලන සිරකරුවන්ට ආධාර කිරීම පිණිස තමන්ට හැකි සියලු දේ ඉටු කරන බව ජනාධිපති සමාවක් මත පසුගිය සිකුරාදා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු රුසියාවේ හිටපු ඛනිජ තෙල් ධන කුවේරයකු වන මිහායිල් කදර්කොවුස්කි ප්‍රකාශ කරයි.

ජර්මනියේ බර්ලින් නුවර සිට මාධ්‍යවේදීන් අමතමින් කතා කළ ඔහු, රුසියාවේ තවමත් ඉතා විශාල පිරිසක් දේශපාලන සිරකරුවන් සිටින බව සඳහන් කළේය.

කෙසේ නමුත් රටින් පිට වීමට අවසර දෙන බවට සහතිකයක් නැති නම් යලිත් රුසියාවට නොයන බවයි, කදර්කොවුස්කි පවසන්නේ.

යලි රුසියාවට යාම

"ජනාධිපතිවරයාගේ ප්‍රකාශක, පෙස්කොෆ් මහත්තය කිවුව මට ඕනෑම වෙලාවක රුසියාවට එන්න පුළුවන් කියල. ඒත් කණගාටුයි මම එහෙම ගියොත් මට ඕනෑම තැනකට යන්න පුළුවන් බවට හෝ මගේ පවුලේ කටයුතු ගැන ක්‍රියා කරන්න පුළුවන් කියල මට සහතිකයක් ලැබිල නැහැ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

තමා නිදහස් කර ගැනීම පිණිස ක්‍රියා කිරීම පිළිබඳව ජර්මානු චාන්සලර් අන්ගෙලා මර්කල්ට සහ ජර්මනියේ හිටපු විදේශ අමාත්‍යවරයාට ඔහු ස්තුතිය පුද කළේය.

ඊට කලින් රුසියානු සඟරාවක් සමඟ අදහස් දැක්වූ කදර්කොවුස්කි, යලිත් වරක් දේශපාලනයට පිවිසීමට හෝ විසුරුවා හරින ලද යුකෝස් තෙල් සමාගමේ තමන්ට අයත්ව තිබූ කොටස් යලි ලබා ගැනීම පිණිස සටන් කිරීමට බලාපොරොත්තු නොවන බවද කියා සිටියේය.

තමන්ට සමාව ප්‍රදානය කරන මෙන් ඉල්ලා ජනාධිපති පූතින් වෙත යැවූ ලිපියේ ඒ බව සඳහන් කළේ යැයි පවසන හිටපු කෝටිපති ව්‍යාපාරිකයා, කෙසේ නමුත් තමන් නිදහස් කරනු ලැබුවේ කොන්දේසි විරහිතව බවද අවධාරණය කළේය.

වංචා සහ බදු නොගෙවීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු මිහායිල් කදර්කොවුස්කි, දස වසරක සිර දඬුවමක් ගෙවීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා ජනාධිපති පූතින් විසින් නිදහස් කරනු ලැබිණ.

තමන්ට එරෙහිව නැගුනු චෝදනා දේශපාලන අරමුණකින් එල්ල වූ ඒවා බව ඔහු නිරත්නරයෙන් අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර