දකුණු සුඩානය: එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනේ

Image caption එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ගුවනින් රැගෙන යනු ලබන්නේ යාබද උගන්ඩාවටයි

උත්සන්න වන ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ තම අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත් කර ගන්නා බව දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය පවසයි.

කාර්ය මණ්ඩලය ගුවනින් රැගෙන යනු ලබන්නේ යාබද උගන්ඩාවටයි.

දකුණු සුඩාන යුද හමුදාව විසින් තහවුරු කොට ඇති පරිදි තෙල් නිපදවන යුනිටි ප්‍රාන්ත අගනුවර බෙන්ටියු (Bentiu) පවතින්නේ හිටපු උප ජනාධිපති රීක් මෂා ගේ නායකත්වයෙන් යුත් කැරලිකාර හමුදා අත.

තරුණ ස්වාධීන රාජ්‍යය

මේ අතර ප්‍රකාශයක් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා ගන්නා මෙන් ජනාධිපතිවරයා සහ හිටපු උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

"අවුරුදු දෙකකටත් වඩා අඩු ඉතිහාසයක් තිබෙන, මේ තරුණ ස්වාධීන රාජ්‍යය තමන්ගේ සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම ඉතාම වැදගත්," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

"ජනාධිපති සල්වා කීර් සාකච්ඡා මාර්ගයට පිවිසෙන්න තමන්ගේ සූදානම දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබීම ගැන මම සතුටු වෙනවා."

සටන් ඇරැඹුණු ඉකුත් සතියේ පටන් මේ වන විට පලා ගොස් සිටින පිරිස හැට දහසකට අධික බවයි එක්සත් ජාතීන් පවසන්නේ.

කුමන්ත්‍රණ සැලසුමක් සම්බන්ධයෙන් ජනාධිපති සල්වා කීර් ගෙන එන චෝදනා උප ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර