ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්න සාකච්ඡා ජනවාරියේ

Image caption ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබීම දෙරට අතර ප්‍රශ්නයක් වී ඇත.

ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු රජයෙන් ලද ආරාධනයක් අනුව ලබන ජනවාරි මස මුල් සතියේ ඉන්දියාව බලා යන බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා එම අදහස් පළ කළේ බීබීසිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

දෙ රටේ මුහුදු සීමාවන් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබීම් නිසා මතු වී ඇති ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සිය සංචාරයේ අරමුණ වන බවයි, රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන්නේ.

දෙරටේ ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගනු ලැබ තිබේදැයි බීබීසිය විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ දැනට එවැනි ගිවිසුමක් නොමැති බවයි.

ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව

Image caption අමාත්‍ය රාජිත සේනාරත්න

“ දැනට තියෙන අවසාන ගිවිසුම තමයි, 2008 වසරේ ඇති කර ගත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමේ ගිවිසුම. ශ්‍රී ලංකාව එම කමිටුව 2012 වසරේ ජනවාරි මාසයේ කැඳෙව්වා. එය කැඳවීමේ ඊ ළඟ වාරය පැවරෙන්නේ ඉන්දියාවට. නමුත් ඔවුන් එය කැඳවූයේ නැහැ.” රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

දෙ රට අතර ධීවර ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමතිවරියගෙන් ආරාධනයක් ලැබුනොත් තමා ඊට සහභාගී වෙන බවයි, ශ්‍රී ලංකාවේ ධීවර ඇමතිවරයා පවසන්නේ.

මේ වසර ඇතුළත ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වූ 43500 කට අධික ධීවර යාත්‍රා ලංකාවේ නාවික හමුදාව විසින් අධීක්ෂණය කරනු ලැබ ඇති බවත් ඇමතිවරයා කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර