දකුණු සුඩානයේ සමූහ මිනී වළක්

  • 2013 දෙසැම්බර් 24
Image caption දස දහස් සංඛ්‍යාත නිරායුධ වැසියන් එක්සත් ජාතීන්ගේ කඳවුරු වල සරණ සොයා යාම

දකුණු සුඩානයේ සමූහ මිනී වළක් සොයා ගෙන ඇති බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම සමූහ මිනී වල තුළ තිබී මළ සිරුරු හැත්තෑ පහක් පමණ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරතුර දකුණු සුඩානයේ තවමත් දරුණු ගැටුම් සිදු වන බව වාර්තා විය.

ඩින්කා ජනවාර්ගික සල්වා කිර් ජනාධිපතිවරයාට හිතවත් හමුදා සහ නුඑර් ජනවර්ගයට අයත් හිටපු නියෝජ්‍ය ජනාධිපති රේක් මෂා අතර දින කිහිපයකට උඩදී සටන් ඇවිල යාමෙන් අනතුරුව වාර්ගික ඝාතන සහ දස දහස් සංඛ්‍යාත නිරායුධ වැසියන් එක්සත් ජාතීන්ගේ කඳවුරු වල සරණ සොයා යාම පිලිබඳ වාර්තා ලැබෙමින් පවතී.

දකුණු සුඩානයේ උත්සන්න වෙමින් පවතින ප්‍රචන්ඩතාවට මුහුණ දීම සඳහා අමතර සාම සාධක භට පිරිස් යවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

ආරක්ෂක මණ්ඩලය අඟහරුවාදා එය අනුමත කරනු ඇතැයි අපේක්ෂිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති සමන්තා පවර් පවසන්නේ හමුදා බලය වැඩි කිරීම බරපතල අවශ්‍යතාවක් පවත්නා බවයි.