ඉන්දීය අනාථ කඳවුරුවල ළමා මරණ රැසක්

Image caption හින්දු මුස්ලිම් ගැටුම් සමයේ ඉන්දීය හමුදාව සීරුවෙන්.

පසුගිය සැප්තැම්බර් මාසයේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිර ගිය හින්දු-මුස්ලිම් කෝලාහල වලදී සිය නිවාසවලින් පළා යාමට සිදු වූ දහස් ගණනක් ජනතාව රැඳී සිටි අනාථ කඳවුරුවල දරුවන්ගෙන් අඩු තරමින් තිස් හතර දෙනකු වත් මරණයට පත් ව ඇති බව නිල වාර්තාවකින් හෙළි වෙයි.

දරුවන් වැඩි දෙනෙකුගේ මරණයට හේතුව අධික සීතල බවට පල වන උත්තර ප්‍රදේශ් බලධාරීහු ප්‍රතික්ෂේප කරති.

නිවුමෝනියාව, අතීසාරය ඇතුළු රෝග වැළඳීමෙන් දරුවන් මිය ගිය බවයි, ඔවුන් පවසන්නේ.

පසු ගිය සැප්තැම්බරයේ මුසාෆර්නගර්හි හට ගත් එම ගැටුම් දශකයක කාලයක් ඇතුළත ඉන්දියාවේ පැතිර ගිය දරුණුම ජාතිවාදී කෝලාහල ලෙසයි, සැලකෙන්නේ. එම ගැටුම් වලදී හැට පස් දෙනකු මරා දැමුණු බව වාර්තා විය.

වර්ගවාදී ගැටුමේ අනාථයන්

තරුණ කාන්තාවකට අතවර කළ කණ්ඩායමකට එරෙහි වූ පුරුෂයන් තිදෙනකු මරා දැමීමත් සමඟයි මුසාෆර්නගර් වර්ගවාදී ගැටුම් ආරම්භ වුනේ. ඒ සමග පැතිර ගිය කෝලාහලවලින් බේරීමට දහස් ගණනක් ජනතාවට ඔවුන්ගේ නිවාස වලින් පළා යාමට සිදුවුණි.

එම ජනතාවට රැකවරණ සැපයූ කඳවුරු වලදී වයස අවුරුදු දොළහට අඩු දරුවන් තිස් හතර දෙනකු වත් මිය ගොස් ඇති බවයි, ආණ්ඩුව විසින් පත් කරන ලද කමිටු වාර්තාවක දැක්වෙන්නේ.

මුසාෆර්නගර් සහ ෂම්ලි දිස්ත්‍රික්කවල පිහිටි අනාථ කඳවුරු පහක තවත් 4,783 දෙනකු රැකවරණ ලබා සිටින බවත් වාර්තාවන්හි දැක්වෙයි.

මුසාෆර්නගර් ගැටුම්වලින් තවත් අසූ පස් දෙනකුට වත් තුවාල සිදු ව තිබුණ අතර, පනස් දහසකට ආසන්න උන්හිටිතැන් අහිමි වූවන්ගෙන් බහුතරය වූයේ මුස්ලිම් ජනතාවයි.