බේරූට් නුවර දැවැන්ත පිපිරීමක්: හිටපු ඇමති මිය යයි

ලෙබනනයේ බේරූට් අගනුවර හට ගත් දැවැන්ත පිපිරීමකින් හිටපු මුදල් අමාත්‍ය මොහමඩ් චටා මරුමුවට පත් විය.

ඔහු ලෙබනනයේ හිටපු අගමැති සාඩ් හරීරිගේ උපදේශකවරයෙකි. පාර්ලිමේන්තුව සහ ආණ්ඩුවේ කාර්යාල අසල දී මෝටර් රථයක් ගිනි ගෙන දැවෙනු දක්නට ලැබුණි.

ඝාතනයට ලක් වූ අමාත්‍යවරයා සහ හිටපු අගමැති හරීරි සුන්නි මුස්ලිම් භක්තිකයන් වන අතර, අසල්වැසි සිරියාවේ ගැටුම ලෙබනනයේ නිකායවාදී උණුසුම උත්සන්න කිරීමට හේතු වී තිබේ.

ෂියා මුස්ලිම් භක්තික ලෙබනනයේ හෙස්බොල්ලා ව්‍යාපාරය සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනයට සහාය දීම පිණිස තම සටන්කරුවන් පිටත් කොට තිබේ.

ජනාධිපති අසාඩ්, ෂියා නිකායේ අතුරු නිකායක් වන අලවයිට් භක්තිකයෙකි.

ඔහුට විරුද්ධව සටන් වදින ඇතැම් කැරලිකාර කණ්ඩායම් සුන්නි භක්තික අල්-කයිඩා සංවිධානය සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.

ඉරානය හෙස්බොල්ලා සංවිධානයට සහාය පළ කරන අතර, බේරූට් නුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට පසුගිය මාසයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.