බංග්ලාදේශ විපක්ෂ ආධාරකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

Image caption ඉරිදා ගැටුම්වලින් එක් අයකු මිය ගිය බව පොලිසිය පවසයි

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබියදී විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ ඩකා අගනුවරදී ආරක්ෂක හමුදා සමඟ ගැටුනහ.

විරෝධතා උද්ඝෝෂණ තහනම් කොට තිබියදී එය නොතකා උද්ඝෝෂකයන් අගනුවර වීදි පුරා පෙළපාලි දැක්වූ අතරවාරයේ හටගත් ගැටුම්වලින් එක් අයකු මියගොස් තිබෙන බවයි, පොලිසිය පවසන්නේ.

ජල කාලතුවක්කු සහ තුවක්කුවලින් සන්නද්ධව සිටි පොලිසිය උද්ඝෝෂකයන් නතර කිරීමේ උත්සාහයක යෙදී සිටියේය.

මේ අතර ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් තමන්ට පහර දුන් බව ඇතැම් උද්ඝෝෂකයෝ පවසති.

මහ මැතිවරණය පැවැත්වීමට පෙරාතුව අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස් වී රටේ පාලනය භාරකාර ආණ්ඩුවකට පවරා දිය යුතු බවට විපක්ෂය ඉල්ලා සිටියි.

ව්‍යවස්ථානුකූලව මැතිවරණය පවත්වන බව පවසන ආණ්ඩුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර