ස්වාභාවික විපත් කලින් කියන නව සංඥා ක්‍රමයක්

Image caption GPS චන්ද්‍රිකා තාක්ෂණය මෙම සංඥා පද්ධතියට යොදා ගෙන ඇත

ඇමරිකා එක්සත් ජනපද විද්‍යාඥයන් විසින් ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දෙන නව සංඥා ක්‍රමයක් සාර්ථක ලෙස අත් හදා බලා තිබේ.

භූමි කම්පාවලින්, සුනාමි වලින් සහ විපරිත කාලගුණ තත්වයන් මගින් එල්ල කෙරෙන තර්ජන කලින් සොයා ගත හැකි සංඥා පද්ධතියක් එම පර්යේෂකයන් විසින් දකුණු කැලිපෝර්නියාවේ ස්ථාපනය කොට ඇත.

ජීපීඑස් චන්ද්‍රිකා තාක්ෂණය

ගෝලීය ස්ථාන ගත කිරීම් පද්ධතිය හෙවත් GPS චන්ද්‍රිකා තාක්ෂණය මෙම සංඥා පද්ධතියට යොදා ගෙන ඇති අතර එමගින් පෘථිවියේ සිදු වන ඉතා සියුම් චලනයන් පවා මැනිය හැකියි.

එසේම කාලගුණ වෙනස්කම් හඳුනා ගැනීමේ සංවේදකයන් ද ඊට අනුයුක්ත කොට තිබේ.

නව තාක්ෂණය මගින් විශාල භූමිකම්පාවක පරිමාණය හඳුනා ගත හැකි අතර එය සුනාමියක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ තිබේ ද යන්නත් විද්‍යාඥයන්ට නිගමනය කිරීමට හැකියාව ලැබේ.

හට ගත හැකි අධික වර්ෂා තත්වයන් ගැනත් නව තාක්ෂණය මගින් කලින් නිවැරදි අනාවැකි පළ කළ හැක.

නිවැරදි අනාවැකි

නව තාක්ෂණය වියදම් අධික නැති බව පවසන පර්යේෂණ කණ්ඩායම එවැනි සංඥා පද්ධති ලොව පුරා ව්‍යාප්ත කළ හැකි බවයි පවසන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවා ආයතනයේ මාර්ක් ජැක්සන් (Mark Jackson) පැවසුවේ අනාගතයේ දී ස්වාභාවික ව්‍යසන ඇති වීමට පෙර ඒ ගැන නව ක්‍රමය මගින් ඉතා ඉක්මනින් ජනතාවට අනතුරු ඇඟවීම් කළ හැකි බවයි.

කාලගුණ අනාවැකි පල කරන්නකු විසින් බොත්තමක් තද කළ පමණින් ව්‍යසනයක් ඇතිවීමේ අනතුර පිළිබඳ ඍජු පණිවිඩයක් යැවෙන බවයි ඔහු පවසන්නේ.

“ජීවිත සහ දේපොළ ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට හෝ ගිනි නිවන හමුදාවට එවෙලේම එම තොරතුරු ලැබෙනවා. එසේම ජංගම දුරකථන ඔස්සේ ජනතාවට ද අනතුරු ඇඟවීමේ ක්‍රමයක් මගින් මේ පණිවිඩය ලැබෙනවා,”යි ඔහු පැවසුවේය.

දකුණු කැලිපෝර්නියාවේ ස්ථාපනය කොට ඇති නව තාක්ෂණය නිසා විද්‍යාඥයන්ට හදිසියේ ඇතිවූ ගංවතුර තත්වයන් පිළිබඳව ආපදා සේවා ආයතන වලට අනතුරු ඇඟවීම් කිරීමට දැනටමත් හැකිවී තිබේ.

විද්‍යා කටයුතු පිලිබඳ බීබීසී වාර්තාකාරිය රෙබෙකා මොරෙල් පවසන්නේ එක් එක් කලාප වලට සුදුසු පරිදි එම සංඥා පද්ධති සකස් කර ගැනීමට සිදු වන බවයි. දකුණු කැලිපෝර්නියාවේ කරන ලද අත්හදා බැලීම් ඉතා සාර්ථක වී ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

Image caption ගංවතුර තත්වයක් හට ගත හැකි බව දකුණු කැලිපෝර්නියාවේ කලින් අනතුරු ඇඟවීම්

සන්තියාගෝ පළාතේ හදිසියේ ගංවතුර තත්වයක් හට ගත හැකි බව මෑතක දී දකුණු කැලිපෝර්නියාවේ විද්‍යාඥයන්ට කලින් අනතුරු ඇඟවීම් කිරීමට හැකි වූ බව ඇය ප්‍රකාශ කාලය.

තත්කාලීන තොරතුරු

“ඉතින් පාරවල් වහල මිනිස්සුන්ටත් අනතුරු ඇඟවීම් කරන්න පුළුවන් වුනා. කලින් පාවිච්චි කළේ කාලගුණ බැලුම් යවල එමගින් තොරතුරු ලබා ගැනීම. මේ තාක්ෂණයේ දී එහි ඇති සංවේදකයන් මගින් තත්කාලීන තොරතුරු එවෙලේම ලබා දෙනවා. දිගටම සංඥා ලබා දෙනවා.”ඇය ප්‍රකාශ කළාය.

සන්තියාගෝ හි සාගර විද්‍යාව පිළිබඳ ස්ක්‍රිප්ස් (Scripps) ආයතනයේ යෙහුඩා බොක් (Yehuda Bock) පවසන ආකාරයට විශාල භූමි කම්පාවක් ඇතිවීමට තත්පර ගණනාවකට පෙර හට ගන්නා කම්පනයන් පවා නව තාක්‍ෂණය මගින් හඳුනා ගත හැකියි.

ඉන් පසු ඒවායේ නිශ්චිත පරිමාණයන් නිර්ණය කොට සුනාමියක් ඇති වේද යන්න නිගමනය කළ හැකි බවයි ඔහු පවසන්නේ.