ජෙනරාල් මුෂාරෆ්ට එරෙහි නඩුව යළිත් කල් යයි

රාජද්‍රෝහි චෝදනා මත පකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ට එරෙහිව පැවැත්වීමට නියමිත ව තිබූ නඩු විභාගය යළිත් වරක් කල් දමා තිබේ.

උසාවියට යන අතරවාරයේ අසනීප තත්වයක් දැනීම නිසා ජෙනරාල් මුෂාරෆ් රෝහලට ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද නඩු විභාගය දෙවරක් කල් දැමීමට සිදු වූයේ ආරක්ෂක හේතූන් මතයි.

හිටපු ජනාධිපතිවරයා උසාවිය බලා යන මාර්ගයේ තිබී බෝම්බයක් සොයා ගත් බවට වාර්තා වීමෙන් අනතුරුවයි දෙසතියකට පමණ පෙර පැවැත්වීමට නියමිතව තිබූ නඩු විභාගය කල් දමා ඇත්තේ.

පර්වේස් මුෂාරෆ් ට රාජද්‍රෝහි චෝදනා එල්ල වී ඇත්තේ වසර 2007 දී පකිස්ථානයේ ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය මතයි.

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හැත්තෑ වියැති මුෂාරෆ් කියා සිටින්නේ දේශපාලන අරමුණු තකා ඉහත කී චෝදනා ගොනු කර ඇති බවයි.

චෝදනා ඔප්පු වුවහොත් හිටපු ජනාධිපතිවරයාට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර