ස්කයිප් අඩවිය හැක් කරයි

‘සිරියානු විද්‍යුත් හමුදාව’ ලෙසින් හඳුන්වා ගනු ලබන කණ්ඩායමක් අන්තර්ජාලයේ ස්කයිප් (Skype) සංවාද මණ්ඩපය හැක් කොට තිබේ.

ස්කයිප් වෙබ් අඩවියේ අයිතිය දරන මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය සතු විද්‍යුත් තැපැල් සේවා පාවිච්චි නොකරන ලෙසද ඉහත කී කණ්ඩායම ජනතාවගෙන් ඉල්ලා සිටිමින් අන්තර් ජාලයේ පණිවිඩ පළ කර ඇත.

මයික්‍රොසොෆ්ට් ආයතනය ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස් කර ආණ්ඩුවලට විකුණන බවට ‘සිරියානු විද්‍යුත් හමුදාව’ නම් වූ මෙම පිරිස චෝදනා කරති.

මෙම සිද්ධිය වාර්තා වන්නේ එක්සත් ජනපදය දියත් කර තිබූ ඔත්තු බැලීමේ මෙහෙයුම මෑතක දී හෙළිදරව් වීමෙන් අනතුරුවයි.

තම වෙබ් අඩවිය හැක් කර ඇති බව පිළිගත් නමුත් තම පාරිභෝගිකයන්ගේ තොරතුරු පිටතට ලබා දී නැති බවයි ස්කයිප් බලධාරීන් පවසන්නේ.

මේ අතර තුර ‘ස්නැප්චැට්’ (snapchat) සංවාද වෙබ් අඩවිය ද හැක් කර ඇති අතර එහි මිලියන හතර හමාරකට අධික පාරිභෝගිකයන්ගේ නම් සහ දුරකථන අංක අන්තර් ජාලයේ පළ කොට තිබුණු බවයි වාර්තා වන්නේ.