ලෙබනනයේ අල් කයිඩා අණදෙන නිලධාරියා මිය යයි

ලෙබනනයේ ඉහලම අල් කයිඩා අණදෙන නිලධාරියා වූ මජීඩ් අල් මජීඩ් (Majed Al-Majed) රැඳවුම් භාරයේ සිටිය දී මිය ගොස් ඇතැයි ලෙබනන් හමුදාව නිවේදනය කොට තිබේ.

සෞදි අරාබි ජාතිකයකු වූ මජීඩ් (Majed) අල් කයිඩා සංවිධානයට අනුබද්ධ අබ්දුල්ලා අසාම් බ්‍රිගේඩයේ (Abdullah Azzam Brigades) නායකයායි.

ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට සහ ෂියා මුස්ලිම් ජන කණ්ඩායම් වෙසෙන ප්‍රදේශවලට මාරාන්තික ප්‍රහාර ගණනාවක්ම එල්ල කිරීමේ වගකීම එම බ්‍රිගේඩය විසින් බාර ගෙන තිබිණ.

දුර්වල සෞඛ්‍ය තත්වයෙන් හා පෙනහළු රෝගයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි නිලධාරීන් පැවසුවේ.

ඉකුත් මාසයේ දී අත්අඩංගුවට ගත් ඔහු රහසිගත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබිණ.